Saturday, March 11, 2017

නදී

ඔෆිස් එක දැන් එහෙම පිටින්ම වධකාගාරයක්. ඒත් පියවන්න තියෙන ණය මතක් වෙනකොට උදේට ඉබේම ඔෆිස් එකට ඇදෙනවා. වැඩ ගොඩක් කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. කරන කෙරෙන විදියයි වදය. ලොකුම වදකයා ප්‍රඩක්ට් මැනේජර්. ඒ ගෝතයා හිතන් හින්නෙ වැඩ කරන උන් උගේ වහල්ලු කියලා. සැරයක් මූණටම කිව්ව ඔය විදිය නවත්තපන් කියල. තේරුමක් නෑ. ඊට හොඳයි වෙලේ බැදල ඉන්න හරකෙක්ට කියන එක. ඌට තේරෙනවා. අඩු ගානෙ ඔලුවවත් වනනවා. ඉඳල හිටල උම්බෑ කියනවා. ඔෆිස් එකේදි ලේ රත් වෙලා පිටදාන එක නැවතෙන්නෙ නදීට පින්සිද්ද වෙන්න. ඒකි තමයි ආත්ම ගානක් තිස්සෙ මතක් කර කර හිනා වෙන්න පුලුවන් ජාතියෙ ගොන් වැඩ කරන බැන බැන වුණත් හදිස්සියකදි ඔලුවට තෙල් ටිකක් දාලා සීරුවට අතගාවගන්න ඉන්න ගෑණු ළමයා.

අද ටිකක් කලින් ඔෆිස් එකෙන් ආවා. ගමට කොයි පැත්තෙන් ඇතුල් වුණත් යන්න වෙන්නෙ වෙල මැදින්. වෙලේ කඩේ ගාවින් බස් එකෙන් බැස්සාම ගමට ඇතුල් වෙන පාර තියෙන්නෙ පත අත්තික්කා ගහක් යටින්. ඒකෙ කඳේ පොතු හූරං ගිහිල්ලා. මූල අමාරුවට වෙන්න ඇති.  එතන ඉඳන් වෙල් යාය. ගම හරියට වෙලෙන් වට වෙච්ච උස පුවක් පොල් ගස් වලින් මායිම් වෙච්ච දූපතක් වගේ. දවල් දවසෙ කොළඹ නට්ටං වෙලා හවස ගමට ඇතුල් වෙනකොට පුදුම සනීපයක් දැනෙන්නෙ. අද වෙනදට වඩා වෙල් ගම් වටපිටාව නිස්කලංකයි. හුළඟකුත් නෑ. වට පිට ඉද්ද ගැහුවා වගේ.

ගොයම් කැපුව කුඹුරුවල තැනින් තැන පොඩි උන් කොල්ලො කට්ටිය සෙල්ලම් කරනවා. ඈතට වෙන්න පුරුදු කටහඩක් ඇහුණා. නදීගෙ. කොහොමටත් කට ඇරියොත් ගමටම ඇහෙනවා. මගුලට තව දවස් තුනයි. මේකි වෙලේ පොඩි උන් එක්ක සෙල්ලම. ගොඩක් සතුටෙන් ඉන්නෙ. මාත් ඉපනැල්ලට බැහැල ගිහින් උන් සෙල්ලන් කරන හරියෙ කොනක නියරක් උඩින් වාඩි උනා. පෙරේද මාත් එක්ක තරහ උනාට පස්සෙ හම්බුනේ නෑ. දවසකට දෙකකට සැරයක් හරි තරහ නූනොත් මේකි හිතන්නෙ ඒක ආදරේ අඩුවක් කියලා.

"මද්දු අය්යෙ වරෙන් සෙල්ලං කරන්න" පොඩි එකෙක් අඬගහනවා.
"බෑ බං මහන්සියි"
"අම්මේ... මටත් මහන්සියි." නදී ඉනට අත් තියන් වැනි වැනී ඇවිත් ළඟින් වාඩි වුණා. ගවුම් කරේ ඉදන් දාඩියට පෙගිලා.
"අහකට යනවා. ගඳ විතරක්. දාඩිය වැක්කෙරෙනවා" ඔහොම කිව්වට පස්සෙ තැනක් නොතැනක් නැතුව ඒකි මාව බදා ගන්න එක සක්කර මුත්තටවත් නවත්තන්න බෑ.
"පල යන්න අහකට"
"දැන් හරි. දෙන්නගෙම එකම ගඳ.... අම්මේ... දුවලා හොඳටම හති... හම්.... අර පොඩි තුෂරය පිට මැද්දෑවටම බෝලෙන් ගැහුවා. තාම ඇඳුං කනවා..... පොඩි හුළඟක්වත් නැති හැටි. ගොළු මද්දුවො පවන් ටිකක් ගහපන්කො"

"යමු"
"බෑ..තාම මහන්සියි"  නදී මගේ අතින් ඇදල නැගිටින්න නොදී නැවැත්තුවා. මම අත ගසල දාල වෙල දිගේ යන්න පටන් ගත්තා.
"ඔය කොහෙද යන්නෙ"
"දේවාලෙ පැත්තට"
"ඒ මොකටද... ඇයි මට පොල් ගහන්නවත්ද.." නදී නැගිටල කෝටුවකුත් ඇහිදන් මගෙ පස්සෙන් දුවං ආවා.  "ජහඃ ජහඃ හනික යමන් පුතා.."
"ඔයා දක්කන්න ඕන නෑ. මම යන්නම්.."
"ආහ්.. ඒකත් එහෙමද... මේ.. ඇයි මගෙ පෝරුව හදන වැඩේට අන්තිම මොහොතෙ බෑ කිව්වෙ"
"නෑ.. මං මාමට කලින්ම කියල තිබුණෙ මට බෑ කියලා"
"මද්දු දුකින් ඉන්නෙ කියල හැමෝම දන්නවා. අමුතුවෙන් දුක පෙන්නන්න රඟපාන්න ඕන නෑ.."
"මං රඟපාන්නෙ නෑ.... දැන් අනික් වැඩ සේරම හරිද"
"සේරම හරි... ඔයාට තියෙන්නෙ එදාට කුමාරයා වගෙ ඇවිත් අත්සන් කරල යන්න. ඒකටත් බැරිනම් කලින් කියන්න.. හරිද...."

වෙල මැදින් ගලාගෙන ගිය මහ ඇළ පාර හිඳිලා ගිහිල්ලා. තැනක දෙකක  විතරක් මඩ වතුර පිරිච්ච වලවල් තියෙනවා.

"මද්දු අර.. පේනවද.. වැහි වළාව එනවා දැනෙනකොට මාලු සතුටෙන් උඩ පනිනවා"
"හ්ම්.. ඒත් මට බයයි ඇළ දෝරෙ ගලල උන් කොහේ හරි ගහගෙන යයි කියලා"

"මතකද පුංචි කාලෙ මං මෙතනදි ගිලෙන්න ගියා. මද්දු බය වෙලා කණ්ඩිය උඩ බලං හිටියා. සේරසිංහ අයියා පැනලා මාව බේර ගත්තෙ. හෙහ්.. හෙ.. අයියා මාව වඩං යද්දි ඔයා අඬ අඬ පස්සෙන් ආවා.. මට හොදට මතකයි"
"මොනවා කරන්නද.. මට කවදත් එච්චර හයියක් තිබිලා නෑ."

පන්සලේ පූජාවට ඝාණ්ඨාරෙ ගහන සද්දෙ ඈතින් ඇහෙනවා. අහසෙ පි‍යාඹගෙන ආපු කොකෙක් වෙල ඉවුරෙ කොක් පොලකට පාත් වුණා. ඈතට යන කොක්කු රෑනක් අහස මුදුනෙ ඉගිලෙනවා. වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා. මහ වැස්සක් පටන් ගන්න වගේ.

"ඉක්මනට යමු. වැස්සට අහුවෙයි"
"ඇයි අද බැරිද හබරල කොලයක් ඉහලල මඩේ එරි එරී මාව තුරුලු කරන් යන්න.."
"ඒ ඉස්සර"
"මන් දන්නව ඉස්සරහටත් එහෙමයි. උඹට බෑ වෙනස් වෙන්න"
"විකාර කියන්නෙ නැතුව වරෙන් ඉක්මනට"
"ආ.. අච්චර ලේසි පාරක් තියෙද්දි ඇයි මේ වෙල වටේ වටයක් ආවෙ එහෙනම්. මාත් එක්ක ඉන්න ඕන නිසා නෙවිද. අනේ මද්දුවො... උඹේ පපුව ගැහෙන සද්දෙ මං හොඳට අඳුරනවා"

මහ හෙණයක් පුපුරලා ගියා. අහස හොඳටම කලු කරල. ඉර බැහැල ගිහින්. වැහි අඳුරත් එක්ක වෙනදට වැඩිය ඉක්මනට කළුවර වැටෙනවා.

"නදී... මේ උඹයි මායි එකට තෙම්මන අන්තිම වැස්ස"
"ඒ වුණාට මුරුගසන් වරුසාව නෙවෙයිනෙ"
"මුරුගසන් වැස්ස දකින්න තරම් දුර සංසාරෙ දිගේ යන්න මට ඕනෙ නෑ"
"යසෝධරා වගේ ගෑනියෙක් වෙන්න තරං මට හයියක් නෑ."

"මද්දු උඹ හැම වෙලාවෙම මං ළඟින් හිටියා මිසක් මට උඹ ළඟට එන්න උඹ ඉඩ දුන්නෙ නෑ."
"ඒකද මාව දාල යන්නෙ.."
"මට කවදාවත් හිතිල නෑ මං ඔයාව දාල යනව කියල.. ඒත් මට මේ ගමන යන්න වෙනවා මද්දු. මට බෑ මට හිතෙන දැනෙන දේ වෙනස් කරන්න."

කැලෙන් වට වෙච්ච දේවාලයේ පහන් එළිය යන්තම් ගස් අස්සෙන් බොඳවෙල පේනවා. කොහෙද මන්ද හැංගිච්ච ගෙම්බො ටිකක් ඔලොක්කුවට බක බක ගානවා. දන්නෙම නැතුව වෙල ඉවරවෙන පාර ගාවටම ඇවිත්.

"මං රාණි නැන්දලගෙ වත්ත උඩින් පැනල ගෙදර යන්නම් මද්දු. අම්මා බලන් ඇති. ඔයා දේවාලෙ පැත්තට යනව නම් මටත් එක්ක පහනක් පත්තු කරන්න.."
"හ්ම්ම්.."

නදීගෙ දුඹුරු පාට මූණ කළුවරටම වැහිලා ගිහින්. පහන් දැල්ලෙන් මතක පුච්චන්න පුලුවන්නම් මං ඕන තරමෙ පහන් පත්තු කරනවා. නදී මගේ අත් අල්ලගෙන. කවදාවත් බැඳලා ළඟට ගන්න ඕන කියල නොහිතෙන තරම් ළඟින් නදී හිටියා. නදීගෙ අම්මා ඉස්සර විහිලුවට කියනවා මං නදී ඉපදුන දවසෙත් හොරෙන් ඇඳ ළගට ඇවිත් නදීගෙ අත අල්ලන් හිටියා කියල. අයිති නැති දෙයක් මොකට අල්ලගත්තද මන්ද..

"මන් යන්නම් මද්දු. පරිස්සමෙන් යන්න කියන්න.... බුදු සරණයි කියල කියන්න." ඇගේ කටහඬ දියවෙලා ගිහින්. යන්න ටිකක් ඈතට ගියපු නදී ආපහු ඇවිත් මගේ මූණ ඇතුලෙ ගිලුණා.  ඈව තදින් අල්ලා ගන්න මට හිතුනෙ නෑ.

"මම යනවා." නදී ගියා. ඔය යන්න ගියාට මට තාමත් හිතෙන්නෙම කොයි වෙලාවක හරි ඇඳුම් මල්ලත් උස්සන් මගේ ගෙදර නවතින්න නදී ඒවි කියල.