Monday, February 6, 2017

දං කෑ කතාව

'තිස්සො අද මරු ඈ..'
'ආ.. කොහොමද ගහ අල්ලපු හැටි. නියමයිනේ...'
'අපෝ උඹල දිනුවෙ ප්‍රමෝදෙ හොරෙන් හිරේට ගත්තු නිසා. හොරටනෙ දිනුවෙ'
'ඒ.. මෙන්න මූ පච කෙළිනවා'

අපි විවේකය ඉවර වී පන්තියට පැමිණියෙමු. දහඩිය වැගිරේ. කමිසය එහෙම පිටින්ම දුඹුරු ගැසී අවුල් වී ඇත. මම අත පොවා කමිසය කලිසමට යට කර ගත්තෙමි. සෙල්ලම් කිරීමට ගැලවූ සපත්තු මේස් දමා ගැනීමටවත් මට සිහියක් නැත. එතරමටම සතුටුය. අද ජයග්‍රාහී දවසකි. මම අද අනික් පිලේ ගහ අල්ලා අපේ පිලට ජය අත් කර දුනිමි.  උන්ගෙන් ගහේ අන්තිමට ඉතිරි වූයේ තඩියාත් ගොඩේත් අස්සාත් පමණි. අනික් වුන් සේරම හිරේය.  මම උන්ගේ පේර ගහට අඩි දහයක් පමණ පිටුපසින් එක්සෝරා මල් පාත්තිය පිටුපස සැඟවී සිටියෙමි. අස්සා හිරේ නිදහස් කිරීමට මෙන් දිව ගියේය. මම වහා ක්‍රියාත්මක වීමි. තඩියාටත් ගොඩේටත් නොදැනෙන්න පිටුපසින් ගොස් ගස බදා ගහරිලා යැයි කෑ ගැසීමි. තඩියාට කර කියා ගන්නට දෙයක් නොමැති වුණි. ඌ හැරි හැරී මට රව රවා ගියේය. අපේ ඈයෝ මා බදා හුරේ දැමුවෝය. ෂිහ්.. මල්ෂිත් ඒ වෙලාවෙ පොඩි පිට්ටනියේ සිටියේ නම් අගනේය. අද වීරයා මෙන් ගෙදර ගොස් මල්ලීට කීමට කතාවක් ඇත.

'අඩේ අද මිස් කලින් ගිහිල්ලා'. 'ෂා මාරයිනෙ'
'සිරිසේන සර් ආවොත් හොඳයි'. ගොඩේ කිව්වා වගේම සිරිසේන සර් පන්තියට ආවේය. ඔහු සන්සුන් මිනිසෙකි. ඔහුගේ කතන්දර මරුය. ඇසීමට පන්තියම කැමතිය.
'ආ...ය්බෝවන් ස...ර්'.
'ආය්බෝවන්'
'මේ ළමයින්ට මිස් වැඩක් දීලා නේද ගියේ'. 'ඔව් සර්'. 'නෑ.. නෑ... සර්'. 'මිස් කිව්වෙ ගෙදරදි කරගෙන එන්න කියල'
'හා හා ගෝසාව නවත්තගන්න'
'සර් කතාවක් කියන්නකො'
'අනේ ස...ර්'

සිරිසේන සර් ගුරු පුටුවේ පැත්තකට බරදී ගුලි කර ගත් අත මත නිකට තබාගෙන දත් පෙන්නා හිනාවක් පෑවේය. එය සුබ පෙරනිමිත්තකි. දත් විටට කහට ගැසී ඇත. අපි සද්ද නතර කරගත්තෙමු.

'ළමයි දන්නවද වළගම්බා රජ්ජුරුවොන්ගෙ කතාව... අර මහා කළු සිංහලයගෙ කතාව....'
රජතුමා තැනින් තැන සැඟවී ජයග්‍රාහී ලෙස සටන් කළ අයුරු ඔහු මවා පෙන්නුවේය. 'ඔය ඇඳුං නැතුව තපස් රැක රැක හිටපු නිගණ්ඨයෙක් තමයි මේං රජ්ජුරුවො පැනලා යනෝ කියල බෙරිහන් දුන්නෙ.'
'ළමයි දන්නවද ඒ කාලෙ හිටපු තාපස ගොල්ල ගැන විස්තර. සමහර තාපසයො මිනිස්සුන්ගෙන් හම්බෙන දානෙ අතඇරල ගිහිල්ලා තමන්ගෙම කක්ක කෑවලු... අහල තියෙනවද...හහ් හාහ් හා...'
'ඊයා........'

කතාවෙන් කතාව පාසල ඇරෙන්නට සීනුව වැදිණි.  අපි ගාථා කියා පන්තියෙන් එළියට ආවෙමු.
'තිස්සො වරෙන් දං කඩන්න යන්න.' රුචිර කතා කළේය.
'පන්සල් කන්දට... අපෝ බෑ.. මතකනෙ දවසක් මිස්ට අහුවෙලා ගුටිකෑවා.' පාසල ඇත්තේ පන්සල් කන්දේ බෑවුමේය. පාසලට කන්ද මුදුනේ වෙහෙරේ කොත හරිය ගස් අස්සෙන් පෙනේ. එය ලස්සනය. පොඩි පිට්ටනියේ කෙළවරකින් කන්දට ඇතුළු විය හැක. මේ දිනවල එහි සරුවට දං සෑදී ඇත. එහි යාම තහනම්ය. ඒත් දං මතක් වන විට නොයාත් බැරිය.
'අපෝ බයද..'
'නෑ නෑ මං බය නෑ යමං.'

ඒ වන විට තඩියලාත් කැළෑ වැද සිටියහ. කැළෑව මරු සනීප තැනකි. එහි දවසම වුවද ඇවිදිමින් ඉඳිය හැක. පඳුරු අස්සේ කුරුළු කූඩු වල කුරුළු පැටවු පිහාටු විහිදා දඟ කරති. හදිසියේ බය වුණු හාවෙක් වල් පඳුරු අතර උඩ පැන දුවන්නේය. මුගටි එකා දෙන්නා ගුල් වලින් නික්මී හොරෙන් ගුලි ගැසී යති. දිග කහ ගැරඬියෙක් ගල් අස්සට ඇදෙයි. අපි සද්ද නැතිවම දංද අතරින් පතර තිබූ ගඳපානද ගිල දැමූවෙමු.

අස්සා පඳුරක් අතරින් කුමක් හෝ දෙස සිහි විකලෙන් බලා සිටී. මමද එදෙසට ගියෙමි. මොනවා.... කැළෑ පඳුරු වලින් වටවූ කැන්ද ගසක් යට  සුදු පාට ලොකු කුරුලු ජෝඩුවකි. ඒ වන විටද දං කෑ කල්ලියම ගස් අතු කොළ තණ වල් වැල් ගල් බොරලු අස්සෙන් ඇස් ලොකු කරගෙන කුරුල්ලන් දෙස බලාගෙනය. මම ඒ කුරුලු අක්කා හඳුනා ගත්තෙමි. ඇය ගියවර තෑගි උත්සවය දා නැටුමකට ලස්සනට නැටූ හැටි මට මතකය. ඇය හැඩය. සුදුය. මිටිය. ටිකක් මහතය. ඒ කුරුල්ලාද මම දැක ඇත්තෙමි. ඌ නම් කළුය. කැතය. මූණ පුරා කුරුලෑය. උන් දෙදෙනාද අප මෙන් දං කන්නට දං ලන්දට පැමිණ ඇත. කුරුලු ජෝඩුව ඇලීගෙන මොනවාදෝ කොඳුරයි. රුච්චාගේ කටද ඇරී ඇත.

කුරුල්ලා හාද්දක් දීමට කිරිල්ලීගේ මුහුණට කිට්ටු වුණේය. ඇය හුරතලෙන් සිනාසී මුහුණ ඉවතට ගත්තාය. දං පඳුරක් යට දණ ගසා සිටි තඩියාට හයියෙන් හිනා ගියේය. කුරුල්ලන් ගැස්සී ගියේය. තඩි හරකා වැඩේ කෑවේය. අස්සා හූවක් පටන් ගත්තේය. 'හූ....හූ........' මමද හවුල් වූයෙමි. අනික් ඈයෝද හූ කිය කියා දුවන්නට වූහ. අක්කා මූණ වසාගෙන පාසල පැත්තට දුවන්න ගත්තාය. 'පල යන්න හුත්තිගෙ පුතාල...'  කුරුලු අයියා ඉදිරියට පැන බොරළු අහුරක් ගෙන අප දෙසට දමා ගැසීය. අපේ හූවද විනෝදයද වැඩි වුණි.

'ඒයි ‍අඩෝ නැවතියල්ල පොඩ්ඩක් පොඩ්ඩක් ඉඳපන්' ටික දුරක් දුවන විට තඩියා අපව නැවත්තුවේය.
'මෙහෙ වරෙන්.... උඹල කැමතිද ඇතිවෙන්න බීම පැකට් බොන්න'
'ඇයි උඹ ළඟ සල්ලි තියේද' අස්සා හති අරිමින් ඇසීය.
'නෑ බං... වරෙන්කො මාත් එක්ක... වරෙන් වරෙන් කිව්වම අහල වරෙල්ලකො' තඩියා ආපසු හැරුණේය.

අපි තඩියාගේ පස්සේ ඇදුණෙමු. පාසල් මායිමට කිට්ටුවෙන් කුරුල්ලා කොටු කර ගැනීමට අපට හැකි විය. කිරිල්ලී ඉගිලී ගොසිනි. කුරුලු අයියා අපට නැවත කඩා පැන්නේය. උගේ කලු මූණ රතු වී ඇත. ඇසුත් රතු වී ඇත.

'හා හා... ගහන්න එන්න එපා.. '  'අපි නිහාල් සර්ට කියනව අයිය අර අක්කා එක්ක කැළේ දං කැඩුව කියල'.
'අනේ පල ඇච්චො.... වරෙන්කො හෙට ඉස්කෝලෙදි බලා ගමු'.
'ආ ආ... අපි සර්ට කිව්වාම බලා ගන්න පුලුවන්. අපට රුපියල් දහයක් ඕනෙ'
'පල පල' ඔහු යන්නට ගියේය. තඩියාද ඔහු පස්සෙන් ගියේය. අන්තිමේ දී කුරුල්ලා පරාජය බාර ගත්තේය. සාක්කුවෙන් ගත් රුපියල් විස්සක් තඩියාට දික් කළ ඔහු 'කාටවත් කිව්වොත් බලාගම්මු හරිය..' කියා ඉක්මනින් යන්න ගියේය. එදා සිට ඔහු විස්සෙ කුරුල්ලා නම් විය.

අපි බෝක්කුව ළඟ කඩේට ගියේ ගිය වර ලෝක කුසලානේ දිනූ ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙනි. අපි විස්සේම බීම පැකට් හා බුල්ටෝ ගතිමු.
'ඔහෙල කැළෑ පැනලා දං කාලා වගේ..' බෝක්කුවෙ මුදලාලි නිකට උස්සා අප දෙස බැලීය.
'නෑ..නෑ...' පමෝදේ දම් පාට දිව දික්කර කීවේය. මම ඌට ටොක්කක් ඇන්නෙමි.
'ඉන්නවකො මං ගුණවතී මිස්ට කියන්නම්'. මළ කෙළියකි. ගුණවතී මිස් ඉන්නේ කඩේ ළඟින් ඇතුළට යන පාරේය.

පසුවදා උදේම නිහාල් සර් පන්තියට පැමිණියේය.
'ආ.. මේ පුතාලා කවුරුහරි දැක්කද ඊයෙ හවස ලොකු පන්තිවල අයියල අක්කල වගයක් කැළේ පැත්තෙ ගිහින් ඉන්නවා. ඔය පුතාලට පුලුවන් වෙයිද අඳුන ගන්න'.
'ඔව් ඔව් සර් අපි දැක්කා අර දහය වසරෙ අයියයි අක්කයි කැළේ ඉන්නවා...මම අඳුරනවා...' තඩියා අත ඔසවා කෑ ගැසීය. මිස් සාරි පොටෙන් හිනාව වහ ගත්තාය.
'ආ තමුන්ද එහෙනම් ඊයෙ හවස ඉස්කෝලෙ ඇරිල කැළේ පැනල තියෙන්නෙ. කෝ කියනව බලන්න තව කව්ද දං කඩන්න ගියෙ කියල... මෙහෙ එනවා කට්ටියම...'. සර් වේවැල අතට ගත්තේය. 'ඉස්කෝලෙ ඉවර වුණ ගමන් තමුසෙලට ගෙවල් වල යන්න බැරිද.. කැළෑ වල දං කන්න රෝන්දෙ යන්නෙ..... කෝ..එනව ඉස්සරහට '. අයියෝ..... ගොන් තඩියා වැඩේ කෑවේය. දැන් නැගිට බයෙන් වට පිට බලන්නේය.

හිතුණා නිවැරැදිය. ඔත්තුව දී ඇත්තේ ගුණවතී මිස්ය. මිස්ට බෝක්කුවේ මුදලාලියාය. බැනුම් අසා ගුටි කෑවා මදිවට දණ ගසා සිටීමටත් සිදු විය. මල්ෂි මූණ උස්සා ඇස් ලොකු කරගෙන බලා සිටියාය. අනික් දවසේ ඈටත් දං ගෙඩි ටිකක් ගෙනත් දිය යුතුය. එවිට ඇය යාළු වනු ඇත. කුරුලු අක්කා එදා දිව එන විට පෙරළී තුවාල වී ලොකු පන්තිවල මිස් කෙනෙකුගේ අතටම අසු වී ඇත. අපි කර ඇත්තේ මහා කැත බලු වැඩකි. මට කුරුලු අක්කා ගැන බොහෝ සේ දුක සිතුණි.