Saturday, February 25, 2017

ඇතුගල මත්තෙන්

මොහොතකදී ඇතුගල මත්තේ බුදු පා මුල ගිමන් හරිමින් සිටියෙමි. එය සැන්දෑවකි. ඉර ගිලී යාමට බොහෝ සෙයින් ආසන්නය. කඳු මුදුන ජනාකීර්ණ විය. ඔවුහු පෝදා වන්දනාවට පෙළ ගැසී සිටියහ. සමහරෙක්ට එය වන්දනාවක්ම නොවිණි. සංචාරයක්ද විය. මාද ඉන් එකෙකි. ලංකාවේ සංචාරය වන්දනාවක්ම වන්නේය. කල්පය පුරා බුදුන් නොවැඩි බුදු පහස නොලත් දෙවි අඩවියක් නොවූ ඉවුරක් තොටක් කන්දක් කෙතක් අරණක් ජනපදයක් මෙහි නැත. දසතම පූජනීයය.

යක්දෙස්සාගලින් ඔබ්බට දකුණු අත දෙසින් කඳු පන්ති එකින් එක ඔස්සේ ඇස් සිතිජයට දුවයි. ඈත කඳු වළලු මඳින් මඳ බොඳ වෙයි. අවසානයේ අහසේ පාවෙන කඳු පන්ති ඇස් වෙහෙසවයි. සමහර කන්දක් වළාකුලකින් වෙන්කර හඳුනාගැනීම අසීරු වෙයි. ගුප්ත රූ සිත්හි ගුප්ත මිහිරක් ඇති කරවයි.

ඇතුගල පාමුල කුරුණෑගල නගරයට මුහුණ ලූ කල දකුණු පසින් නෙත් නිරුත්තර කරන පාරාදීසයකි. මද සැදෑ අඳුරකින් වෙළී ගිය තද කොළ තුරු වදුලින් වැසුණු හුරුබුහුටි කුඩා කඳු වළල්ලක් මැද ලා ගිරා නිල්ලේ නටන ගොයම් කෙතකි. එය බෙහෙවින්ම වර්ණවත් සිතුවමකි.

නගරයෙන් වම් පස සිතිජය බස්නාහිරයි. තැඹිලි රතු පාටින් වෙස් ගත් ඉර දෙවියන් කඳු අතර ගිලී යාමට සූදානම්ය. දහවලේදී තරම් ඔහු ප්‍රචණ්ඩ නැත. සැහැසිකමින් පසුතැවෙන්නෙක් ලෙසින් ඔහු සන්සුන්ව සිටී. එවිට ඔහු සෞම්‍යය. ඇස් නිලංකාර නොකරගෙන ඔහු දෙස බලා සිටීමට හැක. බොඳවූ කඳු පෙනෙන අන්තිම ඉසව්වටත් ඔබ්බෙන් අහසේ තිරස් රේඛාවක ඉර ගිලී යයි. නොපෙනෙතත් එය මූදු ඉමද?

සියලු දිව්‍ය දසුන් මැද අපායේ විදුලි බුබුළු එකින් එක දැල්වෙමින් ඇත. බුදුන්ද නිසලව නගරය දෙස බලා සිටී. එය එක මත එක කොන්ක්‍රීට් ගොඩැලි ඉදිවූ සොහොන් භූමියක් වැන්න. විටෙක පරවියෙක් සිහි ගැන්වූ වැවද පසෙකින් ඇත. එහි සිරිය යාන්ත්‍රික පරිසරය විසින් විනාශ කර තිබේ. වාහන වල නොඉවසිලි යකඩ නලා හඬ කිසිදා සිතට සැනසීමක් නොගෙනෙයි. එය සිත වියරුලයි.

මම බුදු පාමුල වාඩි ගතිමි. මොහොතකට පෙර සැරව හමා ගිය සුළඟ දැන් සන්සුන්ය. දෑස් වසා ඇතුගල සුළඟේ චුම්භනය විඳගතිමි. අනතුරුව නැවතත් බුදුන්ට වැඳ බුදුගුණ පදයක් මතුරා නවාතැනට පල්ලම් බැස්සෙමි.

නොපෙනුණ සයුරු තෙරෙන් ඉර බැස ගිය සැටිද තද කොළ පැහැ කන්දෙන් වටවූ ලා කොළ පැහැ කුඹුරු යායද නිදි යහනේදීත් මට මැවී පෙනිණි. එවන් විටෙක නින්ද ළඟා කර ගැනීමට සුර දූතියකගේ පහසක් අවශ්‍යම නොවෙයි.

කන ලඟ පිපිරූ හෙන ශබ්දයකින් මා ගැස්සී ඇහැරී ගියේය. පාන්දර තුනට හතරට පමණ ඇත. නගරයේ පල්ලියක කරච්චල අඳෝනාව කන් පාරවමින් දිව ගියේය. එක සිතිවිල්ලකින් මේ පාපතර හැතිකරය වැනසිය හැකිනම් එය නොපමාව කරන්නෙමි. එසේ නොකර සිටීමට තරම් මම අවිහිංසාවාදී ජෛනයෙක් නොවෙමි. එම කරච්චලය හුදු ශබ්දයක් පමණක් නොවේ. එය බිහිසුණු තර්ජනයකි. කැකෑරුණු සිතිවිලි මට යලිත් නින්ද නොගෙනාවේය.