Wednesday, February 15, 2017

මෙලෝ වගක් නැති හෑලි

දවස් දෙක තුනක් එළියකට බහින්නෙ නැතුව දොර වහගත්තු කාමරේ තට්ට තනියම. බිත්ති උඩ කූඩු හදන් හිටපු කොබෙයියොත් නෑ. හතර මුල්ලෙ විසි කරපු පොතුයි කුරුටු ගාපු කොළ කෑලියි. තනිකම පාලුවක් වෙලා පාලුව සාංකාවක් වීගෙන එනවා. කෝඳුරුවෝ මූණ ඉස්සරහ කැරකෙනවා. හවස තුනට විතර ඇති. පාළුවටම හරියන වේලුණ වෙලාව. පොඩි කාලෙ ඉඳන්ම දවසෙ දරන්න බැරිම කම්මැලි මූසලම පැය දෙක තුන.

වෙනදට නම් ගේ වටේ ඇවිදල ආවම හිතට සනීපයි. ලේන්නුන්ගෙ දඟර සෙල්ලමක්, තලගොයෙක්ගෙ වලවල් හෑරිල්ලක්, එළවලු ගහක මල් පිපිල්ලක්, බිමට දික් වෙන පතෝල කරලක්, ගෙඩියක් වෙන අඹ මලක්, කොහොඹ ගහක ලා පාට දල්ලක්, ළිඳ ගැඹුරෙ වතුර පොදක්, කොළ අස්සෙ රතු පාට බට කිරිල්ල ගෙඩියක් දිහා ඇස් යැව්වාම හිත ඉබේම පාට වෙනවා මල් උයනක පාවෙන පාට සමණළයෙක් වගේ. ඒත් අද සාංකාව හිත පර වෙන්නම තලනවා. ඒ අස්සෙන් අවුරුදු ගාණක් පරණ විරහවක් මූණ උස්සනවා. සාප දීලා අතෑරලා ගියපු අය හිතේ හයිය මැරෙන්න පණ අදින කොට කදමලු උස්සන් ජනේලෙ ඇතුලෙන් කාමරේට රිංගන්නයි හදන්නෙ. තනිකම වහගන්න මුඩුක්කුත් දිව්‍ය විමාන වගේ පේන වෙලාවක් මේක. එව්වට රැවටෙන්න බෑ. එකම විසදුම දොරෙන් පිටවෙලා කොහේ හරි නොදන්නා මනුස්ස වාසෙක කරක් ගහන එක.  මේ වෙලාවට කන ඇතුළට යන් නැති කනේ ඇතිල්ලිලා යන මිනිස් සද්ද ටිකක් මසුරන් වටිනවා. කන් ඇතුළට යන තමන්ට කිට්ටු සද්ද බර වැඩියි. මම ඔහේ පාරෙ දිගේ පාවෙනවා. හුළගත් පාළුයි. වටපිට එළියත් පාළුයි. අයියෝ... පාර දෙපැත්තෙ කුඹුරු වල ගොයම් කපලා. එහෙම පිටින්ම පාළුයි. යන එනකොට මාව සතුටු කරපු මං ආදරේ කරපු ගොයම් යාය. කොච්චර ආදරේ කරත් දවසක යනව තමයි. හුළං තාලෙට නටපු ලජ්ජාවෙන් බිම බලාගත්තු ආඩම්බර කාර නැට්ටුක්කාරියො ටික. පැත්තම එහෙම පිටින්ම නැති වෙලා ගිහින්. පිදුරු පාටයි. හිතටම ගැලපෙන ඉපනැල්ල. ඇළ පාර කට්ටෙටම හිඳිල. අහසෙ වලාකුළක්වත් නෑ. මහ පාරෙත් වාහන එකයි දෙකයි. ටවුන් එක පැත්තට යන බස් එකක් ආවා. මම ඒකෙ එල්ලුණා. ඒක තිරිසන් අපායක්. ගාලගෝට්ටියක්. එකෙක් අත් උස්සල ගහන්න බලන්නලු අප්පුඩියක්. කෝ කොල්ලොන්ගෙ සද්දෙ මදිලු. මදිවට ටීවි එකේ ගෑනු ටිකක් හෙළුවෙන් පද්ද පද්ද ඉන්නවා. මදැයි සද්ද ටිකක් හොයාගෙන එළි බැස්සා. එහා ශීට් එකේ පොඩි පහේ ජෝඩුවක් තුරුල් වෙලා. මන් අනික් පැත්තෙන් එළිය බැලුවා. පාර අයිනෙ කලාගාරෙ හිස් වෙලා දැන් ටික දවසක්. එතන එක එක විදියෙ පිළිම සත්තු හැඩතල කැටයම් හදල විකුණන්න පේන්න තියල තිබුණා. බස් එකේ යනකොට අනිවා ඔළුව පහත් කරල බලල හදල තියෙන දෙයක් හොරෙන් රසවිඳල යන්නෙ. දැන් ඒකත් නෑ. හිස් ගේ විතරයි. හදපු පිළිමයක් බලනවටත් වැඩිය පිළිමයක් හදනව බලන්න තියෙනවනම් කොච්චර වටිනවද. ගලකට ලීයකට මැටි ගුලියකට යකඩෙකට පණ දෙන මිනිහෙකුගෙ සමාධිය. ලතාව. ඉවසීම. ධෛර්ය. හැකියාව. පින. මං උන්ට ණයයි. සමාධිය අවුකන නෙළපු උන්ට නම් ආත්ම ගානක්ම ගෙවන්න තරම් ණයයි. සද්ධාව හැරුණාම තනිකම නිසා දළු දාන නිර්මාණ අනන්තයි. කලාවක් ගෑවිලාවත් නැතත් මටත් හිතුණ සාංකාව දෙපිටින් යන්න ගල් කැටයමක් ලී කැටයමක් එහෙමත් නැත්නම් මැටි ගුලියක් හරි අඹරන්න. ටවුන් එකෙත් මහ ලොකු සෙනගක් නෑ. මම මූසලය වගේ වැනි වැනී ඇදෙන්න පටන් ගත්තා. මේ වෙලාවට මිනිහෙක් එක්ක ටිකක් කතා කරන්නත් ආසයි. ඒත් මූණ ගල් ගැහිලා. කට ලොප් වෙලා. මන් දකින කෙනෙක් එක්ක අමාරුවෙන් හිතෙන් හිනා වෙන්න බලනවා. ඒකා මේ මොන අපතයෙක්ද කියල රවා ගෙන යනවා. හිත මට රවන සැරේ හැටියට ඒකත් මොකක්ද. ස්ටෑන්ඩ් එක ළඟ යොහොවා කාරයො ටිකක් කොළ බෙදනවා. හැම එකාම බලන්නෙ තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න. කටට කුණුහර්පයක් නේන තරමටම හිත ලෙඩ වෙලා. කෝච්චිය හූ තියාගෙන දුවනවා. මං හූව නෑහුණා වගේ අහක බලං ඇවිදිනවා. මේ දවස් වල රාහුගෙ කාලෙලු. සාංකාවටත් ඇවිද්දවනවා. ලියල වැඩක් නෑ. මේ ඇති.