Monday, February 13, 2017

කපුටු සරදම

එය මගේ ජීවිතය වෙනුවෙන් බලපෑමට පටන් ගත්තේ අහේතුකවය. හදිසියේ  දිනක  ඌ මගේ කන අසළින් පියාඹා ගියේය. කපුටෙක් හිසට කිට්ටුවෙන් ගමනේ යෑම එතරම් විස්සෝප වීමට කාරණයක් නොවිණි. එසේ පියෑඹූ කපුටා බස් නැවතුම අසළ විදුලි රැහැනක හිඳ කිහිප විටක් මා දෙස බලමින් ක්‍රෑක් ක්‍රෑක් ලෙස හඬගැසීය. හඬේ මද වෙනසක් තිබුණද එහි තර්ජනයක ලකුණක් තෝරා ගන්නට මට නොහැකි විය. එහෙයින් මට බිය වීමට කරුණක් නොතිබිණි. මම බසයක එල්ලී පිටත්ව ගියෙමි.

දෙවැනි දවසේද මම පුරුදු පරිද්දෙන්ම බස් නැවතුමට ගියෙමි.  මට කපුටා ගැන මතකයක් නොවිණි. බස් නැවතුමට අතුරු පාරෙන් ප්‍රධාන පාරට හැරී මීටර දහයක් පමණ යා යුතුය. සැණෙකින් කනේ පහරක් වැදිණි. හිස පසෙකට හැරී ගියේය. කපුටා පෙර දිනයේ සේම පියාඹා ගොස් රැහැන මත්තේ සිට මා දිහා බලමින් කෑ ගැසුවේය. ඒ හඬෙහි විනෝදයට කරනු ලබන සෙල්ලමක සෙවනැලි නොවීය. මා සමඟ මිතුරු වීමට කරන කෙළි කවට ස්වරූපයක්ද එහි නොවීය. තටු උඩට විහිදා මුහුණ පහත් කර තද දම් පැහැ ගත් ගුප්ත වියරු ඇස් දෙකකින් ඌ මා දෙස බලා සිටියේය. මට අතීතයේ මා සමඟ කෝපාවිෂ්ට වූ එදිරිවාදියෙක්ගේ මුහුණක් මැවී පෙණුනි. 'පිස්සු හැදුන කපුටෙක්' යැයි සිතමින් මම බසයට නැග ගියෙමි. ආයතනයේදී වරින් වර ඒ කළු ජඩ කපුටු මුහුණ මැවී පෙනෙන්නට විය.

තුන් වන දවසේ බස් නැවතුමට නුදුරේදීම මට කපුටා මතක් විය. මම අවට බැලීමී. කපුටකුගේ සළකුණක් නැත. මම බස් නැවතුම දෙසට හැරුණෙමි. ඔළුවට වැදුණු තද පහරකින් මා විසි වී ගියේය. කිසියම් භූතාත්මයකින් ප්‍රලය වූ සතෙකුගේ පීඩාකාරී හැසිරීමක් හොඳින්ම පෙනෙන්නට තිබුණි. මම අසළ වූ කඩයේ වහළ යටට රිංගා ගතිමි. ටික වේලාවකින් ආ බසයට අඩිය තැබීමට සැරසුණා පමණකි. නැවත පිට හරහා පහර දීමක් සිදු වුණි. පහර දෙන්නා කවුද යැයි කියා සොයා බැලීමක් අවශ්‍ය වූයේ නැත. හැකි වේගයෙන් බසයේ ඇතුළට වීමි. මගේ මුහුණ මැලවී ගියේය. ප්‍රථම වතාවට හදවත වේගවත් වී ගියේය. මට මද බියක් ද දැනෙන්නට පටන් ගත්තේය.

එදින සවසද ඌ ක්‍රියාත්මක විය. මම බසයෙන් බැස ගත් නිමේෂයේම කම්මුල ආසන්නයෙන් සැඩ සුළං පහරක් හමා ගියේය. එතැන් සිට අඩි හැටක හැත්තෑවක දුරට පැමිණෙන තෙක්ම තුන් වතාවක්ම කාක් නරුමයා මට සරදම් කළේය. වරෙක හිසට ගසා යන කපුටා විදුලි රැහැනක් මත ගොස් වාඩි වෙයි. කෑ ගසා තර්ජනය කරයි. නැවත පියාඹා එයි. මම වරෙක ඌ ඇල්ලීමට උත්සාහ කළෙමි. නිරර්ථකය. ඌ නොහිතනා තරම් වේගවත්ය. එක් වරම සුළඟ සමඟ මතුවේ. සරදම් කොට ලබන වින්දනයක් ඒ මුහුණේ නොතිබිණ. එය පොර පිටියේදී ප්‍රතිමල්ලවයා මැරීමට දිවුරා පැමිණි විකෘති කෝපයෙන් අන්ධ සටන් කරුවෙකුගේ මුහුණකි. මම ඒ මුහුණු හොදින් අඳුනමි.

සති අන්තයක් ගෙවී ගියේය. මම බස් නැවතුම දෙසට යන්නේ දින දෙකකට පසුවය. කපුටාට මා අමතක වී තිබිය යුතුය. මම සැහැල්ලු සිතින් ගියෙමි. නැත. මට වැරදී තිබිණි. ඈතටම දරුණු ක්‍රෑක් නාදයක් ඇසිණි. බස් නැවතුමේ සිටියවුන්ගේ ඉදිරිපටම ඌ මට පහර දුන්නේය. මට කිසිත් ගළපා ගත නොහැකි විය. මා වෙනතක බලන සැනින් කපුටු පහර එල්ල වේ. අන් සෑම විටකදීම වයරය උඩ සිට කෑ ගසයි. එදින මම ඕනෑවටත් වඩා බියවී සිටියෙමි. පිස්සු කපුටෙකු නම් පහර දිය යුත්තේ මට පමණක් නොවේ. නමුත් ඌ වෙනෙකුට පහර දීමක් පෙනෙන්නට නැත. ප්‍රශ්නය බොහෝ ගැඹුරුය.

දෙවෙනිදාද තෙවනදාද ඊට පසුවද මා කපුටාගේ ගොදුරක් විය. දිනක් සති අන්තයක දහවලක නගරයට ගොස් පැමිණෙන විටද කපුටා මා හඳුනා ගත්තේය. සතෙකු ඉදිරියේ නින්දිත ලෙස මා අසරණ වී ඇත. ඌ මා පමණක් සුවිශේෂී ලෙස හඳුනා ගන්නේ කෙලෙසකද. නොහොබිනා කපුටු අභියෝගය මා සැහැසි පීඩාවක ගිල්වා දැමීය. එහි නැවතීමේ සළකුණක් නොවීය. එන්න එන්නම තත්වය දරුණු විය. බේරීමට කිසිවක් හෝ කළ යුතුම විය.

මම පළමුවෙන්ම මාගේ නිරීක්ෂණය පටන් ගත්තෙමි. මට එම කපුටා වෙන්කොට හඳුනා ගැනීමට හැකිවිය. වම් අත්තටුව යන්තමින් කැඩී ගොස්ය. ඇස් තද දම් පැහැතිය. හොටය මද ඇලයට පිහිටයි. මට පහර දෙන විට මුහුණේ තරහවද පිහාටුද පුම්බාගෙන සිටියි. ඌ සිටියේ මා සවසට පැමිණ බසයෙන් බසින පැත්තේ නැවතුම ළඟ පරණ උස කොට්ටම්බා ගසක් මුදුනේ කූඩුවකය. වායු රයිෆලයක් හෝ ගෙනැවිත් සියල්ල විනාශ කර දැමීමට මට වරක් සිතුණි. මම බස් නැවතුමට යන වේලාවල් වෙනස් කළෙමි. බොහෝ වේලා නුදුරු කඩ පිළේ රැක සිට මේ කරුමය නිරීක්ෂණය කළෙමි.  කපුටු සාස්තර ගැන ද ඌ වටා ගෙතුණු පෙරනිමිති ශාස්ත්‍රයද ගැන මම යන්තමින් අසා තිබුණෙමි.  මම සෙවීමටද ඉගෙනීමටද පටන් ගතිමි.  

සෙවීමේදී මා ගිනියම් කළ බොහෝ දෑ විය. පළමුවැන්න කපුටා සෙනසුරුගේ ළඟින්ම සිටීමයි. බඩගින්න අධික මෙන්ම කෝපය අධික සතෙක් ලෙසද කපුටා හැඳින්වෙයි. උගේ මිනිස් මුහුණු මතක තබා ගැනීමේ හැකියාවේ ප්‍රබලත්වය ගැන මා දැඩි ලෙස බිය වැද්දුවේය. යම් විටෙක එය උගේ ජීවිත කාලය පුරාවටම පවතී. ඊළඟ ලොමු ඩැහැගැන්වෙන කරුණ නම් තම සතුරා ගැන තමාගේ පිරිසට දන්වා පහර දීමට උන්ගේද උදව්ව ලබා ගැනීමට හැකි වීමයි. දිනක් මට කෑ ගසන කපුටා සමීපයේ සිට තවෙකෙකු මා දෙස බලා සිටිනු මට මැවී පෙනුනි. උන් පහර දීමේදී ප්‍රති ප්‍රහාරයට මෙන් අතක් එසවීම උන් තවත් රෞද්‍ර කරන්නා වූ කරුණක් විය. තමන්ට කරදරයක් කළ කෙනෙකුගෙන් එළව එළවා පළි ගැනීම උන්ගේ තද ගතියකි. මම උන්ට කළ වරදක් නැත. මූ අනිකෙකුට මා පටළවා ගත්තේද. නැතිනම් මෙය ඊට එහා ගිය ප්‍රශ්නයක්ද.. මෙය කිසිවකුගේ බන්ධනයක්ද. ඇත්තෙන්ම භූතාත්මයක ප්‍රලය වීමක්ද..

වරෙක ඌ වෙනුවෙන් කපුටු දානයක් සඳහා මගේ සිත යොමු විය. වරෙක එළගිතෙල් මිශ්‍ර කිරිබතක් සෙනසුරුට පූජා කිරීමට ද සිත් විය. නැතිනම් එළගිතෙල් වල පෙඟවූ පහන්තිර ඌට කෑමට සැලැස්විය යුතුද. සියල්ල පසෙක ලා කෙසේ හෝ ඌ මරා දැමිය යුතුද. සියල්ලටම වඩා පහසු මඟකුත් ඒ අතර විය. ඒ පුරුදු ගමන් මඟ වෙනස් කිරීමයි. හේතුව සොය සොයා සිටිය හොත් ප්‍රශ්නය ඔඩු දුවනු ඇත. දිනක් රැකියා ස්ථානය අසළදීත් ගෙදර තාප්පය අසළදීත් ඌ නොවුණද උගේ දරුණු කටහඬට සමාන වූ කපුටෝ මා දෙස බලා සිටියෝය. ඒ දැඩි ලෙස මා තැති ගන්වන සිද්ධීන් විය.

මම ගත හැකි පහසුම පියවර ගතිමි. ඒ ගමන් මාර්ගය වෙනස් කිරීමයි. එය හොඳම පියවර ලෙස මා නොදකිමි. මෙය අතිශය දුර්ලබ දෙයකි. හේතුවක් නොසොයාම මට ප්‍රශ්නය මඟ හැර යන්නට සිදුවීම බොහෝ දේ මඟ අරවන කාරණයකි. නමුත් විටෙක එය හොඳය. නිවැරදිය. වාසනාවකට මෙන් මුල් පාර තරම් ළං නොවුනද ප්‍රධාන පාරට යාහැකි මං කිහිපයක් ඇත. ඉදිරියට පැමිණෙන්නට තිබුණේ ඊසාන දිග මෝසමයි. වැසි කාලයෙන් පසු ඌ කූඩුව අතැර යනු ඇත. මම එසේ සිතුවෙමි. එතෙක් මම අන් මඟක් ගත්තෙමි. සවස රෑ බෝවී පැමිණියෙමි. සවස හයහමාරෙන් පසු උගෙන් කරදරයක් නැත. මාස දෙක තුනක් ගතවිය. වැසි කාලයද ගෙවී ගොසිනි. මම සීරුවෙන් පරණ පාරේ බස් නැවතුමට ඇඳුනෙමි. පුදුමයකි. කපුටු අපලය ගෙවී ගොස් තිබිණි. නමුත් කවදා වන තෙක් දැයි මම බිය වීමී.

අපේ අතීත මිනිස්සු දැඩි ලෙස පරිසරය සමඟ බැඳී සිටියහ. ඔවුහු පියවරෙන් පියවර නාඩියෙන් නාඩිය සිතිවිල්ලෙන් සිතිවිල්ල පරිසරය නිරීක්ෂණය කළෝය. පීරුවෝය. වින්දෝය. ඔවුහු පරිසරයම විය. සතුන්ගේ චර්යා රටා මැනවින් තේරුම් ගෙන සිටියහ. එයින් විද්‍යාද ශාස්ත්‍රද දියුණු කළෝය. එය පරම්පරාවෙන් පරපුරට ආවේය. කපුටු සාස්තරයද ඉන් එකකි. උගේ පියාසරය කෑ ගැසීමේ උස් පහත් බව රටාව කෑ ගැසීමේ දිශාව චර්යාව මෙන්ම මළපහ වර්ණය පවා පෙරනිමිත්තක සලකුණු විය. එය පරපුර පවරා දුන් දැනුම විය. අපේ විද්‍යාව විය. නූතන පොතේ පඬි උගතුන්ට නොතේරෙන මිත්‍යා වූ සරල වේද ශාස්ත්‍රයන්ය. අවුරුදු පන්සියයකටත් එහා ගිය නොනවත්නා දරුණු ආක්‍රමණයක් තුළ යුද වදිමින් වියැකෙමින් සිටින ජාතියකට තමන්ගේ විද්‍යා දැනුම නැතිවී තිබීම පුදුමයක් නොවේ. මෙය සිංහලයන් පමණක් නොව ලොව බොහෝ ජාතීන් අත්විඳින සරදමකි. දැඩි කුසගින්නේ පෙළෙන ක්‍රෑර කපුටු බලවේග ජාතීන් ආක්‍රමණය කර ඇත. කපුටු සරදම මා අසා තිබූ නොසොයා බැලූ නොදක්නා ලද ඉසව්වක් මට පෙන්වීය.