Friday, February 10, 2017

උමාගේ සාපය

මොහොතකට පෙර හම පුලුස්සා ගත් පෙණහළු ගිනියම් කළ කැකෑරුණු වාතලය ඉහළ නඟිමින් තිබිණි. හදිසියේ දුම් දූවිලි සහ යකඩ රස්නය උරා ගත් තාර වන් කලු ජරා වැහි බිංදු තරහෙන් මෙන් පොළවටද මිනිසුන්ටද පහර දෙන්නට විය. එළවලු වල කුණු ගන්දස්කාරය නාසයට දැන් පුරුදුය. වැස්සේ තදබදයෙන් ඊළඟ අල ලොරිය එන්නට ප්‍රමාද වනු ඇත. මම කඩපිළෙහිම ඇන තියා ගත්තෙමි. හී මෙන් ඇදුණු කුණු වතුර බින්දු මුහුණත් හදවතත් පසාරු කළේය. යළි සැනසිය නොහැකි තරමටම අහස කම්පා වී ඇති සේය. මේ උමාගේ සාපයයි.

අතීතයේ ගලෙහි කෙටුනේ මේ ලක්දිව්හි නොබෝසත්තු නොරජ්ජුන් වන්නාහ කියාය. ඒ ගලුත් මේ ඇසිඩ් වැසි වලට දියවී ගොස්ය. බෝසතුන් තුසිතයට පළවා සතුන් රජුන් කරවා ගත්  පාපය ඇස් ඉදිරියේ කඩා වැටෙමින් තිබේ. කල්පයේ මුල මනු රජ බව ට සම්මත වූයේ සොර සතුරු බියෙන් මිනිසුන් මිදවීමටය. අද රජ වන්නේ සොර සතුරන්ට මිනිසුන් ඩැහැ ගැනීමට ඉඩ දීමටය. සොරුන්ගේ සංවර්ධන උපාය මාර්ග පාලකයෝ ක්‍රියාත්මක කරති.  මා අද මේ ගෙවන්නේ අවුරුදු පහළොවකට විස්සකට පමණ පෙර උමා ඔය ව්‍යාපෘතියට උර දුන් හැතිකරය මරා නොදැමූ පාපයයි.  කලකට පෙර අල වගා කළ මම අද මැනිං මාර්කට් එකේ පිටරටින් ඇදද්වූ අල ගෝනි කර ගසන්නෙක්මි. සියල්ල සිදුවූයේ ආර්ථික කුලී ඝාතක උපදේශකයන්ගේ සැලසුම් වලට අනුවය. පොන්න පාලකයන් වසඟ කර ගැනීම ඔවුනට මහා දෙයක් නොවුණි. පඹයෝ වුවද කුඹුරු ආරක්ෂා කළෝය. දැන් ආරක්ෂා කරන්නට කුඹුරුද නැත. බාගයක් ගොඩකර සංවර්ධනය කර ඇත. තවත් කොටසක් පිටරටට තෑගි කර ඇත. ඉතිරිය වගා කළ නොහැකි නිසරු මුඩු බිම් කරවා ඇත. උමා ඔය සංවර්ධනය සමඟ අපේ ජීවිතද සිඳී ගියේය. ජඩ ව්‍යාපෘතියට එරෙහිව කළ සටන් සියල්ල තේ කෝප්පයේ කුණාටු මෙන් තේ කෝප්පයටම සීමා කරවීය. නීතිගත සොර මුල උන්ම වෙඩි තබාගෙන අප දෙසට හිස් තුවක්කු විසිකළේය. අප වෙනුවෙන් හඬ නැගීමට එකදු මාධ්‍යයක් නොවීය. අපට ඉතිරි වූයේ තරහ කොල කෑලි වල ලියා එයින් කාක්කන් සාදා යැවීම පමණකි. ඔවුහු අපට ණයදී සංවර්ධනය කළෝය. ණය වීම ආර්ථික සංවර්ධනයේම කොටසක් බව ඉගැන්වූහ. දියුණු රටවල්ද ණය කාරයෝ බව කීවෝය. අද ණය ගෙවීමට මැනිං මාර්කට් එකේ අල ගෝනි කරගසන්නට තරම් සංවර්ධනය වී ඇත.  

බලා සිටියදී වගා බිම් දිය නොමැතිව ඉරි තැලී විකෘති වී ගියේය. කඳු පිටින් බිම් නිසරු විය. වර්ෂාව දියවී ගියේය. අපට සිදුවූයේ මුදල් ගෙවා ජල බෝතල් ලබා ගැනීමටය. ජීවිත දිනෙන් දිනම කර්කශ විය. දිය පහර හම්බන්තොටට හරවා දමා එහි ඉඩම් පොදි පිටින් විදේශයන්ට පැවරීය. සුභ අනාගතයකට යැයි කියමින් ණය වී තැනූ මත්තලද මාගම් තොටද ඔස්සේ විදේශ සමාගම් සියල්ල සූරා ගෙන ගියහ. සුදු පාලකයින් මෙහි දුම්රිය මාර්ග තැනවූයේ ඇයිදැයි තවමත් බහුතරයකට නොදැනේ.  සියල්ල ඩැහැගෙන වනසා ගොස් ඇතත් ඉස්තාලය තවම වසා නැත. බහු ජාතික සමාගම් වල අභිමථාර්තයන් ඉෂ්ඨ වන විට අපේ ජල උල්පත් සියල්ල සිඳී ගොසින් ජලාශ වල කොන්ක්‍රීට් ගොඩැලි පමණක් ඉතිරි වී තිබිණි. ජල කළමණාකරණයක් පැමිණ ඉතිරි වූ දිය බුබුලු හා උල්පත් ජල මූලාශ්‍ර සමාගම් වල අයිතීන් බවට පත් කළේය. සියලු ඇළ ගංඟා කර්මාන්තශාලාවල කුණු පරිවහනය කරන කානු බවට පත් කලේය. තමන්ගේ ළිඳෙන් වතුර ගැනීමට පවා අවසරයක් නොවීය.  ඊටත් බදු ගැසුවේය. මහ හෙළේ ගල විඳ නළ ළිං ගස්වා භූගත ජලය නැත්තටම නැති කළේය. දැන් පොළොව මතු පිටක ජලය රැදෙන්නේම නැත. කැළෑ කප්පවා අරාබි කාරයන්ට කාන්තාර තනා දුන්නේය. ඇති පදම් රට පටවන තරම් සහල් ඇති බවට වහසි බස් දොඩා අක්කර දාස් ගණනකට වගා කිරීමට වැව් වලින් ජලය නිකුත් නොකෙරිණ. ඒ කියා මාස හය හතක් යන්න පෙර නියඟක් පැමිණෙන නිසාවෙන් කොස් කොළ කන්න යැයි කීවේය. කාන්තාරයේ ජලය ඇති බව මවා පෙන්වා අප සතු වූ දිය පොද බලෙන් බිම හළා අපව කාන්තාරයටම දැක්කුවේය. එහි දිය පොදක් වත් නොවීය. ස්වයංපෝෂිත නිදහස් ආශ්චර්යමත් ජීවිත වලට උරුම කම් කිවූ අපව හාල් හුණ්ඩුවක් වෙනුවෙන් හැට පැයේම හිඟාකන වහලුන් බවට පත් කරලූයේය.

ජරා වැස්ස නතර වී ඇත. අවට අපා සිරි දේ. පිළිකුළ ඇඟ කිලිටි කරයි. කලු දුම් කෝඩ නැවත වාතලය බදා ගති. දණිස් කැක්කුම් දෙයි. දැන් කලක පටන් මට කැස්සක් සෑදී ඇත. කැහි සෙම කලු රොඩු වලින් පිරී ඇත. ගරා වැටුණු ගමේ ගෙදර ලෙඩ ඇඳේ තනිවූ බිරිඳගේ කැස්සේ හඬ ඇසෙන්නා සේය. ඇස් කම්මුල් ගිලී රැළි වැටී ගිය ඇගේ හැඬුම්බර මුහුණ මුලුමනින්ම අමතක වී යනවා නම් සිතට සහනයකි. උමා ඔය ව්‍යාපෘතිය අපේ මුලු ජීවිතයම ඉරි තලා සී සී කඩ කර දැමුවේය. මෑන් පවර් සුල්තාන්ලා පැමිණ පොඩි දුව කූවේටයට පැටෙව්වේය. ලොකු දුව ඇඟලුම් කම්හලකට බිලි විය. බිරිදත් දූවරුත් තුරුලු කර ගත් සුවබර සුවඳවත් අතීතය  දියවී දෙනෙතින් වැගිරෙන්නට විය. අපේ ගෙපැළ පිහිටි හරිත පැහැ ගත් කන්ද පහළ නිම්නය අතරින් ගැලූ  සිසිල් දොළ පාරේ පිනි අතර වෛවර්ණ කුරුලු කිරිල්ලන්ගේ සුහද කතා මැද මාත් බිරිඳත් මැදි කර සිනහසෙමින් සුරතල් හඬින් ගී ගයා නැටූ මගේ සිඟිත්තියන් දෙදෙන විසූ ඒ සුන්දර අතීතය මගේ මුණුපුරන්ටත් උරුම කර දීමට තිබූ මගේ හීනයද උමාගේ සාපය විසින්ම අනුකම්පා විරහිතව බිලිගනු ලැබීය.