Wednesday, February 1, 2017

කොග්ගල - පන්හිඳට පණ දුන් උල්පත

ටික කලකට ඉහත මම කොග්ගල බලා යමින් සිටියෙමි. වසා ගත් දෑසට තනි ලා නිල් අහස පසුබිම් කරගත් පොල් ගස් මුදුන් පේළිය දිස්වේ. එය සිත්තම් කරනුයේ මූදු බඩ සෞම්‍ය ගැමි මතකයකි. එම සිතිවිල්ල වියළිය. නමුත් අතිශය නිදහස්ය. සාමකාමීය. එවිට මම ඇස් ඇරීමට බිය වීමි.

මීට අවුරුදු දහ අටකට පමණ පෙර කොග්ගල ආරණ්‍යයට ගිය මතකයක් මට තිබේ. ඒ දානයක් වෙනුවෙනි. උදෑසන ඔය අසබඩ අඳුරු කැලෑ බිම් අතර අපි ඇවිද්දෙමු. 'හා හා.. ළමයි ඔය කිට්ටුවට එහෙම යනව නෙවෙයි. කිඹුල්ලු ඉන්නවා.' උපාසක මහත්තයෙක් කෑ ගැසීය. ඔයේ ඈත හුදෙකලා දූපත් ගුප්ත මිහිරක් දුණි. විටෙක කන් දෙබෑ කරමින් අහසට නැගුණු ගුවන් යානයක් පරිසරයේ භාවනාව සුන්නද්දූලි කළේය. කුටියක් ඉදිරියේ ස්වාමීන් වහන්සේ නමක් දැඩි කල්පනාවකින් යුතුව තල් අත්තකින් තනා ගත් කුඩයක් පිළිසකර කරමින් සිටියේය. මම ඒ දෙස බොහෝ වේලා  ඇන තියා බලා උන්නෙමි. උන්වහන්සේලා දනට පිඬුසිඟා වැඩියහ. එය වාතලය සනහාලන දසුනක් විය. පිණිබර කොදෙව්වේ නිසල රමණීය ජීවය එහි වැකෙන්නන් විසින් උකහා ගත් සෙයකි.

තවත් වරක් මම එහි ගියෙමි. ඒ කොග්ගල ඔයේ ෆොටෝ ඇල්ලීම සඳහායි. කෙටි කලක් මම පාසලේ ඡායාරූප කණ්ඩායමට සම්බන්ධ වී සිටියෙමි. මම ඔයට පාත් වුණු කුරුල්ලෙකුට කැමරාව යොමු කළෙමි. තව සුළු මොහොතකින් නැග සිටි ගලින් ඔයට ලිස්සා යනු ඇති බව සිත කීවේය. සැනෙකින් එය සිදු වුණි. ගොඩට ආවේ බෙලිකටු වලට කැපී විසි තිස් පලකින් ලේ විදින දෙපතුල්ද සහිතවය. මට අදටත් හරි හමන් පින්තූරයක් අල්ලා ගැනීමට බැරිය. ඊටත් ගමනකදී කැමරාවක් එල්ලාගෙන යාම මට ඉහිලුම් නොදෙන වැඩකි. ෆොටෝ රාජකාරියට සරිලන හිතක්වත් ඇසක්වත් මට නැත. මට ඕනෑ අතපය දිගැර හිතුමතේ ඇවිදීමටය.

කෝච්චිය පෑ පහක ගමනකින් පසු ගාල්ලට කිට්ටු කර තිබුණි. මහා වෙළඳ තොටක් වුණු අතීතයේ ප්‍රෞඩ නගරය. අද එය කොටු බැම්මකින් යදම් ලා සිර කර ඇත. නගරයෙන් බටහිරට පැයක පා ගමනකින් ගිං ගඟේ සාරයෙන් සෙවණ වුණු ආඩ්‍ය ගම්මාන හමුවේ. නැගෙනහිරට වරුවක පා ගමනකින් නිසංසල කොග්ගල් විලෙන් පෝෂණය වූ නිහඩ ශිෂ්ඨාචාර හමුවේ. මම කොග්ගල දුම්රිය පළින් බැස ගත්තෙමි.

යන දිසාවක් ගැන මට නිනව්වක් නොවිණි. තනිව නන්නාඳුනන පාරතොටවල ඇවිදීම දැන දැනම මා කරගන්නා මහත් මෝඩකමක්ය. ටී ෂර්ටයක් රබර් සෙරෙප්පු දෙකක් කට් නොකැපූ වැවුණු  රැවුලක් කොණ්ඩයක් සමඟ මේ රටේ පාරවල් වල ඇවිදීම නතර වන්නේ බොහෝ විට  ඉමක් කොනක් නැති ප්‍රශ්න කිරීම් ගොඩකින්ය. සමහර විට කූඩුවෙන්ය. වාර ගණනාවක් නොයෙක් සිදුවීම් විය. එය එසේ කියා මගේ නිදහස නැති කර ගැනීමට මට බැරිය. හැකි නම් බර ඩෙනිම උනා දමා පොට්ටනියට සනීප දැනෙන්නට සරමක් ඇඟලා ගෙන යන්නෙමි. අපේ සමාජය විනය තකා කොණ්ඩ කපා පැත්තට පීර වූ සිරිමත්ලා බිහි කළේ බැල්ලියන්ටත් නැපි ඇන්දවූ වික්ටෝරියානු කුණු සංස්කෘතියේ සෘජු ආක්‍රමණයෙනි. සුදු ක්‍රමය පරම්පරා හත අටක් තිස්සේ ජාන වලට කා වද්දා ඇත. උඩුකය නිරුවත් ගෑනු රූප පෙළක් පෙන්වා අප එකල අශිෂ්ටයෝය, සුද්දන් අපව ශිෂ්ඨ කළා යැයි බෙරිහන් දෙන ශිෂ්ඨ මිනිසුන් ඒ කුණු සංස්කෘතියේම ශේෂ වූ පුරුක්ය. ඇඳුමකින් ශිෂ්ඨ බව මනින සංස්කෘතියක් සිංහලේ තිබුණේ නැත. වැරදිලාවත් තව වසර සියයක් මිනිසුන් සිටියහොත් සහ නිරූපන ශිල්පිනියකගේ ඡායාරුවක් ඉතිරිවී තිබුණහොත් එදාටත් ඔවැනි අයියලා කෑ ගසනුයේ දෙදහස් දහහතේදීත් මෙහි සිටියේ ඇගේ නූල් පොටක් නැති හිඟන ජාතියක් කියායි. අද ගැහැණියකුට තබා පිරිමියෙකුටවත් ගෙවල් අසල කඩේකට පවා උඩුකය නිරුවතින් යා නොහැකි සුපිරි සුදු ශිෂ්ඨ සමාජයක් නිර්මාණය කර ඇත. වැදගත් ශිෂ්ඨ මොඩලයක් නිපදවා ඇත. පිටරට නිදහසක් ගැන දොඩවමින් ඒ මොඩලය තුළ මිනිසුන් සිර කර ඇත. කොහොමටත් සිංහල සංස්කෘතියට පාරන හැත්ත එහි තිබූ නිදහස ගැන අමුතුවෙන් සොයා බලනවානම් හොඳය.

'කීයද දූවට යන්න..' මම කොග්ගල පාලම අසල බෝට්ටුවක් තබා උන්නෙකුගෙන් ඇසීමි.
'දාහයි..ඔයා විතරද.. කට්ටියක් එකතු කර ගත්තනම් හරි'
'මේ පේන දුරට යන්න දාහක් ගන්නවද බන්..' මම සිනාසෙමින් ඇසීමි. හරිනම් මුන් උදේ හවා මාර්ටින් වික්‍රමසිංහයන්ට මල් පහන් පිදිය යුතුය.

දිලිසෙන දිය තලාව ලතාවකට දෙබෑ කරගෙන හිමින් සීරුවේ ඔරුවක් පැදීමට මා තුළ තිබුණේ මහත් වූ ආශාවක්ය. එය මාර්ටින් වික්‍රමසිංහයෝ මා තුළ මැවූ ආශාවක්යැයි මම පිළි නොගනිමි.  වැවක කෙළිදෙළෙන් ඔරු පදින කොළු කෙළි රංචුවකගේ ජීවමය රූප පෙළක් මට මතක ඇත. ඊටත් වඩා හඳ එළියක වෙහෙරක් කෙළවර කරගත් සුදු ඕලු පිරි වැවක ඔරුවක් පදවා මල් නෙළන සොහොයුරන් දෙදෙනෙකුගේ අපූරු පින්තූරයක් මගේ මනසේ ඇඳී ඇත. අද පොඩි එවුන් ටැබ් එකෙන් ඔරු පදින හැටි බලන්න අගේය. මෝටර් බෝට්ටුවේ ගොරහැඬි හඬ මා දවාලයි. සුකොමළ නදිය එය කෙසේ දරා සිටිනු ඇත්ද. ඔරුවක් සොයා ඇවිද නොගියේ මන්දැයි මම කම්පා වීමි. මෝටරේට වඩා හබල ස්වභාවයට ළඟය. ස්වභාවයට ළංවන තරමට එහි සොබාව වැඩිමනක් විඳිය හැක.

ජින්නලා නිදහස සොයා ගිය සිහින කොදෙව්වට මම පය ගැසුවෙමි. සුපර්මෑන් ලා ස්පයිඩර් මෑන් ලාට වඩා උපාලිලාත් ජින්නලාත් මගේ ලෝකයේ වීරයෝ වූහ. මඩොල් දූව කියවූ සෑම වතාවකදීම ජින්නලාට හොරෙන් තවෙකෙක් දූවේ පදිංචි වූයේය. ඒ මිහිරි මතක සමඟ මම දූවේ ඇවිද්දෙමි. බෝට්ටු කාරයා සමඟ දූව වටේ ගියෙමි. දියෙන් මායිම් කළ වැට මායිම් නැති නෙක තුරු සියොත් සපිරි හරිත බිම් කැබැලි සොබාදමේ අහඹු අසිරිමත් නිර්මාණයන්ය. මම දූපතට ප්‍රිය කරමි. දූපත් මානසිකත්වයටත් ප්‍රිය කරමි. එම නිසාම දූපත සංවර්ධනය කර හෝටල් දමා දියුණු කරනවාට වඩා එහි කිරල ගෙඩියක් කා ගසක් යට සෙවනැළි රටා මැද සැප නින්දක් දැමීමට මම කැමතිය.

ජරා සංචාරක කර්මාන්ත ව්‍යාපෘතියක් නිසා සිංහල දූපතත් එහි දරු දූපතුත් කුණු වී ගොසිනි. සැබෑවටම විඳින්න ඕනෑ මිනිසාට චමත්කාරය සැඟවිය නොහැකි සේම ඔහුද ඒ චමත්කාරය සඟවා නොදමයි. එයට අමුතු විගඩම් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයක් අනවශ්‍යය. මිනිසුන් සංචාරක කර්මාන්තයේ යැපෙන්නන් කිරීම අධම සුපිරි වෙළඳ සංස්කෘතියේ උගුලක් මිස එයින් වන යහපතක් නැත. දූපත් බොහොමයක් දැන් ජර්මන් ප්‍රංශ ප්‍රධාන කොටගත් සල්ලිකාරයන් විසින් ඩැහැ ගනිමින් සිටී. ජෛව පද්ධතිය ඊට අනුරූප වන පරිද්දෙන් කෘතිමව වෙනස් කරමින් තිබේ. ගුවන් යානා බෑමටත් හෝටල් ඉදි කිරීමටත් දූපත් වලින් කුරුල්ලන් එළවා ගස් කපා දැමීමට අයිතියක් ඇත්තේ කවර නම් වෙළෙන්දියකගේ පුතකුටද.

කොග්ගල සිතිවිලි නිහඩ කර පන්හිඳට පණ දෙන අසිරිමත් උල්පතකි.  ඒ උල්පත වියලන කොග්ගල සිදුවූ ගම් පෙරළියට මා කවදත් කැමති නැත. ඒ පෙරළිය කෙළවර ඇති යුගාන්තය අතිශය බිහිසුණුය.