Sunday, January 29, 2017

සාරි ගප්පියා

'අනේ.. අනේ.. හදාගන්නවා සෙම ඔය ඩොංගා ගිලලා. මට බැරියැ උස්සන් යන්න ඩිස්පෙන්සරි ගානෙ'

පෙරේත කමට පුරවා ගත් ඩොංගා ඇට කටේ පිරී ඇත. හිතුවේ අම්මා සාලයේ මහනවා කියායි. ඇගේ කාලසටහනේ හවස් වරුවේ ඇත්තේ ගවුම් පොඩිති කපා මැසීමයි. ඈ කුස්සි දොරෙන් මතු වූයේ නොසිතූ විලසිනි. මම ගැස්සුණි. අම්මාට හොරෙන් බැනියමේ පුරවා ගෙට යන්න ගෙනා ඩොංගා ගෙඩි තුන හතර බිම වැටී ගියේය.

'ගස් වලට පොලු ගහල පලාගන්නවකො බලන්න ඔලු ගෙඩිය.... අන්න ඇවිත් ඉන්නව නඩේ. රවුමෙ එහෙම යන්න තියාගන්න බෑ.  ඇහුනද..'

ගොඩේලා ඇවිත් ඇත.  මම පෙරලී යන ගෙඩි ඇහිලීම පැත්තක දමා ගේ වටෙන්ම ඉදිරියට දිව ගියෙමි. උන් අම්මාට බයේ ඇතුළට එන්නේ නැත. ගේට්ටුව ළඟ සිට තිස්සෝ යැයි බෙරිහන් දෙති.

'මොකෝ..' මම සූප්පු කරමින් උන් ඩොංගා විසි කර ගේට්ටුව යන්තම් ඇර ඇසුවෙමි. බයිසිකලෙන් බැස සිටියේ ප්‍රමෝදේ පමණකි. තඩියාද අස්සාගේ බයිසිකලේ එල්ලී පැමිණ ඇත.

'ලී මෝල ළඟ කානුවෙ මරු සාරි ගප්පි ටිකක් ඉන්නවා. මරු සාරිය බන්'.
'කොහේ.. ලොවි ගහ ළඟ ලී මෝලෙ?'
'ඔව් බන් වෙන කොහෙද.. යමන්ද. වරෙන් නට් එකේ නැගපන් පට ගාල එතැහැකි'.

ගේ ඉදිරිපස තාප්පෙ අයිනේ වලක් හාරා පොකුණක් හදා ගත්තේ ගිය සතියේ මුලය.  දවස් තුන හතරක් තාත්තාගේ පස්සේ ගොස් අන්තිමේ යන්තම් සිමෙන්ති දමා කොළපු වක් කර ගත්තෙමි.  පල් වෙන්න දමාත් දැන් ටික දිනකි. ගොඩේගේ ගෙදරද පොකුණක් ඇත. ගොඩේගේ අයියා වැලි අච්චුවෙන් සෑදූ සිමෙන්ති කොක්කු දෙන්නෙක් දෙපැත්තේ තබා ඇත. කාෆ් ලා ගෝල්ඩ් ෆිශ්ලා අතරින් පීනන සාරි ගප්පි මගේ සිත් ගත්තේය. උන් පෙරලෙන විට සාරිය දිලිසෙයි. මමද පොකුණ පිරෙන්න සාරි ගප්පි දමමි. එතකොට එය ලස්සනට තිබෙනු ඇත.

'අම්මා බනිනවා බන්. දැන් බෑ. හෙට ඉස්කෝලෙ ඇරිල යං'.
'අපෝ.. අන්න දම්මිලත් බල බල හිටිය.' තඩියා මැද්දට පැන්නේය. මූට තියෙන්නෙ දත් සේරම පේන කපටි පනාවකි. පහ වසරේ අසිත අයියා සමඟ පොරේට පෙරළී ගලක වැදී ඉස්සරහ දතේ කෑල්ලක් කැඩී ගොස්ය. කතා කරද්දී අත් නිතරම උරහිසටත් උඩට විසි වේ.

'උඹට ඕනනම් මං උඹට ගප්පියෙක් අල්ලල ගෙනත් දෙන්නම්.  මට රතු ටීක් දහයක් ඕනෙ. හරිද. කබ්බො බෑ හරිනෙ..'

ඊයේ ඉස්කෝලෙ ඇරී එන විට ප්‍රාදේශිය සභා පිට්ටනියේ රුචිර සමඟ ටීක් ගසා මම ටීක් පහළොවක් දිනා ගතිමි. ඒ අතර රත්තෝ අටක් තිබුණි. දැනටත් ටීක් ටික සාක්කුවේ ඇත. එහි බරට සාක්කුව එල්ලෙයි.

'අපෝ දහයක් බෑ. ඕනෙනම් අටක් දෙන්නම්. හැබැයි දෙන්නෙක් ඕනෙ.'
'හරි එහෙනම් හෙට ඉස්කෝලෙට මං ගප්පි ගේනව. මතක ඇතුව ටීක් අරන් වරෙන්.'

කට්ටිය ගිය පසු මම ගේට්ටුව වසා පොකුණ අසලට ගියෙමි. හෙට මෙහි සාරි ගප්පි පීනනු ඇත. උන් දැක තාත්තාත් මල්ලීත් පුදුම වනු ඇත. මම පොකුණේ පල් වතුර අයින් කර පොකුණ සෝදා දැම්මෙමි. මමත් කොකෙක් සෑදිය යුතුය. හදන හැටි තාත්තා දන්නවා විය යුතුය.

'තිසර...පුතා.. කොහෙද මේ ළමයා. මේ ඇවිත් තේ බොන්න..' අම්මා කෑ ගසයි. මට තේ බීමට උවමනාවක් නොවීය.

උදේ රැස්වීමටත් පෙර ගනුදෙනුව සිදුවිය. එහි සාරි ගප්පි තුන් දෙනෙක්ම විය. උන් හැඩ දම දමා පීනනවාය. 'ෂා මරුනෙ..' යාලුවෝ වටේ කැරකෙති. මම මාලු බෑගය ඔසවා හැඩ බලමි. 'අපෝ ඕකුන්ට වඩා ලස්සන උන් අතන බස් හෝල්ට් එක ළඟ කානුවෙ ඉන්නවා..' එකෙක් කියයි. ඊට මට කමක් නැත. ඉස්සරහට මම තව ලස්සන උන් හොයාගනිමි.  මම මල්ෂි දෙස බැලීමි. ඇයට ගප්පින්ගේ ඕනෑකමක් නැතිය. බෙල්ල නවාගෙන පොතක් කියවන්නීය.

මම පොත් බෑගයේ පොත් අතරම පරිස්සමින් ගප්පි බෑගය තැබුවෙමි. ගුරුවරිය පැමිණ අසාලිවීම දුන්නාය. පරිසරය කළාය. මම විටින් විට ඈට හොරෙන් බෑගය ඇර සාරි ගප්පි බැලුවෙමි. කලුවරට මුකුත් නොපෙනේ.

'මිස් මන් තරඟෙට දාන්න චිත්‍රයක් ඇන්දා..මේ..' චිත්‍ර එකතු කර අවසන් කළේ ඊයේය. තඩියා අද චිත්‍රයක් ගෙනැවිත්ය.
'ආ කල්ප මොකද මේ පරක්කු වෙලා. අනික මේකෙ ප්‍රමාණෙත් පොඩියිනෙ ළමයො. තව ලස්සනටත් අඳින්න ඕනනෙ'.
'කමක් නෑ මිස් ඕක යවන්නකෝ'
'හ්ම්ම්.. කෝ පන්ති නායකයා.. ආ තිසර මේක චිත්‍ර මිස්ට ගෙනිහින් දෙන්න.'  

චිත්‍ර මිස් ඉන්නේ චිත්‍ර කාමරේය. එය ඇත්තේ ලොකු පන්ති තියෙන පැත්තේය. ඉස්කෝලෙ එහා කෙළවරේය. වෙන දවසක් නම් ආසාවෙන් යන්න තිබුණි. ඒත් අද.. සාරි ගප්පි ටික පන්තියේ තබා යාම අනතුරුදායකය.

'අනේ මිස් බඩ රිදෙනවා වගේ. කල්පටම කියන්නකෝ ගෙනිහින් දෙන්න කියල..'
'ආ.. මොකද මේ එක සැරේටම. මෙච්චර වෙලා හොඳට හිටියනේ..'
'මිස් එහෙනම් තිසර තමයි සැරින් සැරේ පන්තිය ගඳ සස්සන්නෙ.' තඩියා කට්ට හඬින් කෑ ගැසීය. මුළු පන්තියම සිනා වේ. කිසි විටක පන්තියේ ගඳක් නොතිබිණි. මූ පච කෙළියි. මල්ෂිද සිනාසෙනු පෙනේ.  මළ ලැජ්ජාවකි.
'හා හා නවත්තගන්න කිව්වෙ හිනාව.' මිස් වේවැලෙන් මේසයට ගැසුවාය.

මම වල් තඩියාගේ චිත්‍රය ගෙන එළියට බැසීමි. එය චිත්‍රයක් නොවේ. පැස්ටල් කූරු විසි කර කුරුටු ගෑ කටු ගොඩකි. මඳ දුරක් යන විටම ඉන්ටවල් බෙල් එක වැදුණි. චිත්‍ර කාමරයේ මිස් නැත. නරක වෙලාවකි. අද මහ බාධා දවසකි. බඩගින්නද එයි. පන්තියේ ගප්පි තනිවමය. මිස් බැන්නත් කමක් නැත. මම යා යුතුය. මම චිත්‍ර මේසය උඩ දමා හැකි උපරිම වේගයෙන් දිව ආවෙමි.

මම පන්තියට ගොඩ වුණේ බෑගය එල්ලූ පුටුව දෙස බලාගෙනමය. මළා.. බෑගය ඇරී ඇත. කෑම එක හොරෙන් කා ඇත්ද.. නැතිනම්..... නැතිනම් සාරි ගප්පි උස්සා ඇත්ද.. මගේ ඇග රත් විය. මම හුස්ම නොහෙළාම බෑගය බැලුවෙමි.
අයියෝ..  ගප්පි බෑගය අතුරුදන්ය. මගේ කේන්තිය ඉහ වහ ගියේය. බඩගින්න නැති විය. ඇස් රතු විය. අඬන්නද නොහැක. මල්ෂිලා තවම පන්තියේ කෑම කනවාය.

දෙකක් නැත. තඩියා ගප්පි උස්සා ඇත.  මම ඌ සොයා පිට්ටනියට ගියෙමි. පන්තියේ උන් දැනටමත් ගහරිලා පනින්න පටන් ගෙනය. මම වල් තඩියා සෙවීමි. ඌ හිරේට අසුවී වී ඇත. කේන්තියේ තරමටම මම ඔහුගේ ඇඟට කඩා පැන්නෙමි. දෙදෙනාම බිම වැටුණි. මගේ දණිස සීරී ගියේය.

'දීපන් මගේ සාරි ගප්පි.'
'මොන..අපි ගත්ත එකෙක් නෑ'
මා සිතුවේ තඩියා පෙරලා මට පහර දෙනු ඇත කියායි. නැත. ඒකා මා පෙරලා නැගිට දිව ගියේය. පිට්ටනියේ උන් ගහරිලා පැනීම නවත්වා  අප දෙස බලයි. 'වරෙන් වරෙන් වලියක් වලියක්' උන් කෑ ගසයි. මම තඩියාව පන්නා ගියෙමි.

ඌ දිව්වේ ප්‍රාථමිකේ මිස්ලා තේ බොන පන්තියටයි. මමද නොනැවතුනෙමි.
'මිස් මිස් මෙන්න තිසර මට ගහනෝ...' ඌ ගුරු පුටුව පිටුපසට විය. මට දෙලෝ රත් විණි. මූ මහා වල් බල්ලෙකි.
'මොකද තිසර වෙලා තියෙන්නෙ. මොකද මේ..'
'නෑ මිස් මේකා මගේ.. මගේ.. ' මට ගොත ගැසුණි. මොනවා කියන්නද. ගප්පි ගෙනාවා කිව්වොත් දඬුවම සැරය.
'මොකද මේ ළමයින්ට ගහන්නෙ.. හ්ම් යනව ඉන්ටවල් ඉවර වෙනකන් අර කොට්ටම්බ ගහ යට තුත්තිරි ගලවනවා.'
මොනවා.. මම යන්තමට ලේ ගලන දණිස පීද පීදා කොට්ටම්බා ගහ යටට ගියෙමි. මල්ෂිලා කෑම කා ටොයිලට් යන්නේද මෙතනිනි. වෙන්න යන්නේ වස අවනම්බුවකි. අනික මේ මහ තකතීරු වැඩකි. වල් තඩියා මගේ ටීක් බෝල ටිකට විද්දේය. සාරි ගප්පි ටිකත් ඉස්සුවේය. මිස් ලවා බැන්නුවේය. අද ගෙදර යන්න වෙන්නේ සාරි ගප්පි නැතුවය. උදේ මල්ලීට කියා ආවේ මම සාරිගප්පි ගේන හැටි බලා ඉන්න කියාය. දැන් බොරුවක් ගොතා ගෙන යාමට සිදුවේ.

'සාරියා කාගෙයි බණ්ඩාරේ... සාරියා කල්පගෙ බණ්ඩාරේ' වල් තඩියා මට කෝචෝක් කරමින් ගී ගයමින් පැද්දි පැද්දී නටමින් යනු බොඳවී පෙනේ.