Monday, January 16, 2017

සඳවතී

වියළි සුළඟ විටින් විට උස් පහත් වෙමින් හමා යනු ඇසේ. එයින් කුප්පවනු ලැබූ ඇතුල් ගෙයි ජනෙල් පියන් උළුවස්සේ ගැටී දෙතුන් වරක්ම නොමනා ලෙස මා නින්දෙන් ඇහැරවීය. අගුළු තදකර දමන්නට තරම්වත් මට වගක් නොවීය. දවල් කෑමට අම්මා උයා තිබූ එරබුදු දළු මාලුවටදෝ ඇතිවූ මහත් නිදිමත මා පීඩාකාරී නින්දක ගිල්ලවනු ලැබීය. අම්මා ගෙදර ඉන්නා හැඩක් නැත. ඇය මයිල කොළ කඩන්නට ගියේ මට නින්ද යාමටද පෙරය. සමහර විටෙක රේවතී අත්තම්මාගේ තුනටියේ තෙල් ගෑමට දරේලාගේ ගෙදර යන්නට ඇත. මගේ කකුලේ ඉදිමුම තවම අඩු නැත. කුණු ලේ පිරී තුවාල මුඛය ඇදුම් දෙයි. එක වතාවක් ඉදිමී එහි තුවාලය යන්තම් මස් දමා සුව වන විටම ඊට පහළින් වූ සීරීමකින් නැවත කකුල ඉදිමී ඇඟ ලෙඩ කර ඇත. මොණරෙකුගේ ක්‍රෑර හඬ ඈතින් ඇසේ. සවස නින්දෙන් අවදි වීම මහා වැලි කතරක් මැද තනි වීමක් වැනිය. ඒ සාංකාබර සිතිවිල්ල මූසල පාළුවකි.

මම වෙහෙසක් ගෙන පැදුරෙන් නැගිට කකුල අද්ද අද්දා පැමිණ ඉස්තෝප්පුවේ ගැට්ට මත වාඩි වූයෙමි.  හඬ බාල කරමින් දමා තිබූ තාත්තාගේ පරණ රේඩියෝවෙන් මේවර කෙළි වැලපුම් තාලයකට කපුගේගේ පබලු නගේ නාමල් තිලකේ සිංදුව කැඩි කැඩී ඇසේ. තාත්තාත් පේන්නට නැත. කංකුං කපන්නට වැවට යන්නට ඇත. උදේ කසාය බිවු බෙලෙක්කය තවම පුටු ඇන්ද උඩය. නංගී සිටියේ නම් මට බැන බැන එය ගෙනගොස් සෝදා තබනවාය. දැන්නම් කසාය මතක් වන විටත් මූණ කිලිටි වේ. තව සති දෙක තුනකින් ගොයම කපන්නට සිදුවේ. කකුල සනීප නොවුණොත් වැඩ ගොඩක් මඟ හැරී යන්නට පුලුවන. මාස් කන්නයේ වැසි නැති වූ නිසා බඩ ඉරිඟු පීදුණේද නැත.

නංගී කහටගස්දිගිලියට දීග ගොස් දැන් මාස එකක් හමාරක් පමණ වේ. ඇය ළගක නැති ජීවිතය වැව් බැම්ම කැඩී පාලුවී ඉරිතැලී ගිය වැව් පිටියක් වැනිය. කලකට පෙර එහි සියපත් පිරී වර්ණවත් විය. මා විසින් කෝප ගස්වන විටත් හඬවාලන විටත් සිනා ගන්වන විටත් නංගීගේ මුහුණේ සියපත් වල රෝස පැහැ එලෙසින්ම විණි. පරාලයක සිට හූනෙකු හඬන්නට පටන් ගෙන ඇත. මම බිත්ති ගැට්ටෙන් නැගිට කසාය කෝප්පය සේදීමට කුස්සිය දෙසට ගියෙමි. නින්ද යාමට පෙර පැදුරේ දිගා වී කියවමින් සිටි අක්කර පහ පොළොවට විසි වී ගොසිනි. කහට කෝප්පයක් සාදා ගත් මම පොතද රැගෙන සාලයට විත් තාත්තාගේ හාන්සි පුටුවේ වාඩි වීමී. වේළී ගිය මෙවන් සැන්දෑවක නංගීගේ අතින් සෑදූ දිවුල් කිරි කෝප්පයක මතකයක් මොහොතකට මා සිසිල් කළේය.

පළමුදා ටවුමට ගිය විට පොත් සාප්පුවට ගොඩ වැදුණේ කාලෙකින් පොතක් මිලදී නොගත් බැවිනි. එහි මුල්ලක තිබූ අක්කර පහ මගේ මතකයේ අහුමුලු පාරන්නට විය.  මා එය මුලින්ම කියවූයේ හය හත වසරකදී පුස්තකාලයෙනි. මම එදා සිටම සේන මැදවත්තගේ වෛරක්කාරයෙක් මෙන්ම රීර්ෂ්‍යාකාරයෙකි. මම ඔහුට යන්තමින් හෝ කැමති වන්නට තිබුණු එකම හේතුව ඔහු රැකියාව ලෙස මා ප්‍රිය කල ගොවිතැන තෝරා ගැනීමයි. ඒ හැරුණු කොට ඔහු හා මා සම වන තවත් හේතුවක් තිබිණි. ඒ දෙදෙනාම ඒ සඳවතීට ආලය කිරීමයි. මඩවල රත්නායකයෝ ශූරයෙකි. ඔහු එතරම් අපූරුවට චරිත මවා ඇත.

විශ්ව විද්‍යාලයේදී මටත් සඳවතියක් මුණ ගැසුණි. ඉමදූව පැත්තේ සිට කොළඹට පැමිණි ඈද සඳවතී නම් විය. සිතේ සිටි සඳවතියට අලඟු තබන්නට ඈට නොහැකි විණිද ඇගේ තේරීමට මම විරුද්ධ නොවීමි. සඳා කැටිව නාමල් පුදන්නට පරගොඩ යන්නට මම එකල පෙරුම් පිරුවෙමි. කොළඹ මංමුලාව ඇයව වසඟයට නොගන්නට එය සපත වන්නට ඉඩ තිබුණි. ටික කලෙකින්ම මා ආසාවෙන් සඳා යැයි ඇමතීම ඇය නුරුස්සුවාය. 'අපෝ මහ ගොඩේ නමක්නෙ' ඈ කෙඳිරිගෑවාය.  ඇය ටික කලකින්ම අමුතු නිදහසක් පස්සේ දුවන්නට වූවාය. කාන්තාවගේ තැනක් ගැන ඇය කතා කරන්නට වූවාය. අයිතිවාසිකම් ගැන දොඩවන්නට වූවාය. නගරයේ කාන්තාවට හිමි තැන ගමට නැතැයි මැසිවිලි නගන්නට වූවාය. ගැහැණියට හැමදා කුස්සියේ බත් තම්බ තම්බා සිටිය නොහැකියැයි රණ්ඩු වූවාය. ඇයගේ හතර බීරි කතාව මට අදහා ගත නොහැකි විය. අපේ ගෙදර බුදුන් අම්මාය. අපට ඇත්තේ මාතෲ මූලික පවුල් රටාවකි. අප ගෙයින් පිටවෙන්නේත් ඇයට වැඳ අවසර ලබාය. ඇය කුස්සි මුල්ලේ බත් තම්බ තම්බා නොසිටියාය. රටට බත් දෙන පුතුන් වැඩුවාය.

ඇහැටුල්ලෙක් මිදුල කෙළවර දෙළුම් ගසේ අතු අතර ඇදෙනු පෙනේ. 'රත්නෙ මාමා.. අලි ඇවිත්.. ඇහැ ගහං ඉඳපන්...' මැද හේනෙ ගෙදර තිලක් අයියා කෑ ගසමින් යනු ඇසේ.

කරුම වෙළඳ එන් ජී ඕ නඩ මිනිසුන් මංමුලා කර සමාජය අස්ථාවර කරමින් සිටී. උදේට තන කිරි දොවා බෝතලයක දමා බිළිදා සුරැකුම් නිවාසයක තනි කර එහි ගාස්තු ගෙවීමට රැකියා කරන ගොන් වැස්සියන් නිෂ්පාදනය කලේ එම කුරිරු සංවිධානයි. මව් සරණක් නැති දරුවෙකු බිහිකෙරුවේ එම සංවිධානවල න්‍යාය පත්‍රයි. ළදරුවෙක් මිනිස් කම උකහා ගනුයේ මවගේ උණුසුමෙනි. මෙවන් ගැහැණු දකින ලෝකය වෙළෙන්ඳෝ මවන මිරිගුවක් බව මුන්ට කවදා තේරෙනු ඇත්ද. එහි ගොදුරක් වූ සඳා ටික දිනකින්ම වෙනෙකෙකු සරණ ගියාය. ඇයට බටහිර චිත්‍රපටි පන්නයේ මවා ගත් නිදහසක් හා ජීවිතයක් ඕනෑ කර තිබිණි. රැඩිකල් වීමට ඕනෑ කර තිබිණි. කාගේ හෝ මතයක වහල් රූකඩයක් නිදහසක් ගැන කතා කිරීමම විහිලුවකි. මේ පොළොවේ නිදහසක් විඳීමට මෙවන් ගැහැණුන්ට පිනක් නැත. මේ පොළොවට විදියක් ඇත්තේය. ඒ විදිය සුවිශේෂීය. පර තොරොම්බල් කාරයන්ගේ කරපිටින් එන එක එක මාදිලියේ විගඩම් මේ පොළොව රුස්සන්නේ නැත. මෙහි ස්වභාවයට ගැළපෙන්නේ නැත. එවැන්න ගොඩනගා ඇත්තේ වියවුලක්මය. මගේ දරුවන්ගේ මවක වීමට එවන් පොළොව නුරුස්සන ජාතියේ අපුල ගැහැණියකට කිසි ලෙසකින්වත් වරම් නොලැබිය යුතුය. ඒ මව් ඒ තරමටම උත්තමාවියක් විය යුතුය.

තාත්තා කංකුං පිරවූ ගෝනිය ඔලුවෙ තබාගෙන කඩුල්ල පැන ගෙවත්තට ඇතුලු විය. මට බණ්ඩාර ඇහැලියගොඩයන් පණ පෙවූ වන්නි වන පෙතේ ගීතය මතකයට නැගිණ. මා ජාත වී ඇත්තේ මෙවන් බෝධිසත්වයකුගෙනි. උපාධිය නිම කර මාස කීපයකින්ම කරුම ගෙවා ගමට පැමිණීමට තරම් මම වාසනාවන්ත වීමි. ඇඟේ සෑම රෝම කූපයක් පාසා දිවූ යෝධ සතුටකින් මා නැහැවී ගියේය.  මම පුටුවෙන් නැගිට කකුල අද්දමින් ඉස්තෝප්පු පඩිය අසළට ගියෙමි.

'අලියා වැවට වතුර බොන්න ආවා. කොහේද ඉඳල නාන්න ඇවිත් හිටපු උන් වගයක් මහ සද්දෙන් කෑ මොර දිදී අලියා එළවන්න හැදුවා. මහ අමාරුවෙන් උන්ගෙ කෑ ගැහිල්ල නවත්ත ගත්තේ. ඌ උගේ පාඩුවෙ වතුර බීලා රවුමක් දාල යනවා. ඒකයි විදිය. පාඩුවෙ වතුර බොන්න ආපු එකාව නිකං මක්කටෙයි කුලප්පු කර ගන්න හදන්නෙ.... කෝ.. අම්මා තාම ආවෙ නැද්ද..'.