Sunday, January 29, 2017

සාරි ගප්පියා

'අනේ.. අනේ.. හදාගන්නවා සෙම ඔය ඩොංගා ගිලලා. මට බැරියැ උස්සන් යන්න ඩිස්පෙන්සරි ගානෙ'

පෙරේත කමට පුරවා ගත් ඩොංගා ඇට කටේ පිරී ඇත. හිතුවේ අම්මා සාලයේ මහනවා කියායි. ඇගේ කාලසටහනේ හවස් වරුවේ ඇත්තේ ගවුම් පොඩිති කපා මැසීමයි. ඈ කුස්සි දොරෙන් මතු වූයේ නොසිතූ විලසිනි. මම ගැස්සුණි. අම්මාට හොරෙන් බැනියමේ පුරවා ගෙට යන්න ගෙනා ඩොංගා ගෙඩි තුන හතර බිම වැටී ගියේය.

'ගස් වලට පොලු ගහල පලාගන්නවකො බලන්න ඔලු ගෙඩිය.... අන්න ඇවිත් ඉන්නව නඩේ. රවුමෙ එහෙම යන්න තියාගන්න බෑ.  ඇහුනද..'

ගොඩේලා ඇවිත් ඇත.  මම පෙරලී යන ගෙඩි ඇහිලීම පැත්තක දමා ගේ වටෙන්ම ඉදිරියට දිව ගියෙමි. උන් අම්මාට බයේ ඇතුළට එන්නේ නැත. ගේට්ටුව ළඟ සිට තිස්සෝ යැයි බෙරිහන් දෙති.

'මොකෝ..' මම සූප්පු කරමින් උන් ඩොංගා විසි කර ගේට්ටුව යන්තම් ඇර ඇසුවෙමි. බයිසිකලෙන් බැස සිටියේ ප්‍රමෝදේ පමණකි. තඩියාද අස්සාගේ බයිසිකලේ එල්ලී පැමිණ ඇත.

Friday, January 27, 2017

කොටුවෙ ජීවිතේ හා අතෑරුණ පාඩම්

හැමදාම උදේට රූමස්සල කන්ද උඩින් ඉර පායන කාලයක් මට තිබුණා. හතර පහ වසර වල වගේ. නිදහස් සෙනසුරාදා උදේ තමයි හොඳම. එදාට පාන්දරම කොටු බැම්ම උඩ වාඩි වෙලා කන්ද උඩින් ඉර ටිකෙන් ටික උඩට නගින හැටි බලන් ඉන්න පුලුවන්. වම් අත පැත්තෙන් වරාය පේනව. දකුණෙන් ලයිට් හවුස් එකයි රූමස්සල කෙළවරයි අතරින් ඈත මුහුද. ඉස්සරහ මූද දෙබෑ කරගෙන නැව් යන පාර. මුහුදෙ වතුර හිඳෙන සෙනසුරාදාවල අපි වතුර අස්සෙන් මතුවෙන තණ ගොල්ලයි ගල් ගොඩයි උඩින් මූදෙ ටිකක් ඈතට යන්න පුරුදු වෙලා හිටියා. මුහුද කියන්නෙ අරුම ලෝකයක්. සමහර දාට අපි ගෙදර ආවෙ ඉකිරින්ට කියල අන්නවගෙන. වෙරලෙ හඳ පලු හොයන්නෙ තරගෙට. හඳ පලු අව්වෙ පීරිසියක් උඩ තියලා පැය ගණන් බලන් ඉන්නව උන් ඇවිදිනකන්. උස අඩු තැන්වල වැල්ලෙ ඉඳලා කොටු තාප්පෙ දිගේ උඩට නගින එක ඒ දවස් වල අපට මහා වීරකමක්. හදිස්සියෙන් දවසක වැල්ලෙ වාඩි වෙලා ඈත මුහුදෙ ඉදල නැවක් වරායටම වෙනකන් ගාට ගාට යන දිහා බලන් ඉන්නවා. නැව ඇතුලෙ ඉදල වතුර එළියට දාන එක අපට ලොකු ප්‍රශ්නයක්. මන් නිවාඩුවට ආච්චිලා දිහා ගිහින් ඉන්න කාලෙක වරායට රුවල් නැවක් ඇවිත් ගිහින්. ඒ දවස් වල ඒක බලන්න උන් නැති එක ගැන මාර දුකෙන් හිටියෙ. රිජිෆෝම්, ඉරටු වලින් තඩි නැව් හදන එක ඒ කාලෙ ලොකු විනෝදාංශයක්. ඔය කාලෙ රෑම් පාට් එකේ සෙල්ලමට දුවපු නැති දවසක් තියෙනවනම් ඒ ගොඩක් අඩුවෙන්. කිට්ටුව තිබුණ නුග ගහක වැල්  වල එල්ලිලා ලිස්සල බිම වැටෙන්කන්ම ඔංචිලි පැද්දා. මොකද මන්ද ඒ කාලෙ කියවපු සුදු ගෝනා සුදු වැද්දා එක්ක මට මතක් වෙන්නෙ ඒ නුග ගහ. කොටුව හදන්න කලින් නුග ගහ වටේ වෙරළටම යනකන් තිබුණ මහා ගන කැලෑව මට මැවිල පේනවා. මම මූද දිහා බලන් කතන්දර ගෙතුවා. චිත්‍ර ඇන්දා. රළ පාර කතා කියල දුන්නා. කන් ඇතුලෙ දෝංකාර දෙන හෝ සද්දෙ නවත්තගන්න බැරුව කන් වහගෙන තණ ගොල්ලෙ පෙරලුණා. වැල්ලෙ තිබුණ සද්දන්ත එරබුදු ගහේ මල් පිපෙනකන් බලන් හිටියා. මාලු දැල් වලින් ගැළවිච්ච රිජිෆෝම් බෝල වල එල්ලිල මූදෙ පාවුණා. කොටුවෙ ඉඳන් රූමස්සලට වෙනකන් පීනන්න හීන මැව්වා. ඒ හීනේ වගේම ලයිට් හවුස් එකට නගින එකත් හීනයක්ම වුණා. ඔය විදියට කොටුවෙ ජීවිතේ මහ අරුම කාලයක් වුණා.

Monday, January 16, 2017

සඳවතී

වියළි සුළඟ විටින් විට උස් පහත් වෙමින් හමා යනු ඇසේ. එයින් කුප්පවනු ලැබූ ඇතුල් ගෙයි ජනෙල් පියන් උළුවස්සේ ගැටී දෙතුන් වරක්ම නොමනා ලෙස මා නින්දෙන් ඇහැරවීය. අගුළු තදකර දමන්නට තරම්වත් මට වගක් නොවීය. දවල් කෑමට අම්මා උයා තිබූ එරබුදු දළු මාලුවටදෝ ඇතිවූ මහත් නිදිමත මා පීඩාකාරී නින්දක ගිල්ලවනු ලැබීය. අම්මා ගෙදර ඉන්නා හැඩක් නැත. ඇය මයිල කොළ කඩන්නට ගියේ මට නින්ද යාමටද පෙරය. සමහර විටෙක රේවතී අත්තම්මාගේ තුනටියේ තෙල් ගෑමට දරේලාගේ ගෙදර යන්නට ඇත. මගේ කකුලේ ඉදිමුම තවම අඩු නැත. කුණු ලේ පිරී තුවාල මුඛය ඇදුම් දෙයි. එක වතාවක් ඉදිමී එහි තුවාලය යන්තම් මස් දමා සුව වන විටම ඊට පහළින් වූ සීරීමකින් නැවත කකුල ඉදිමී ඇඟ ලෙඩ කර ඇත. මොණරෙකුගේ ක්‍රෑර හඬ ඈතින් ඇසේ. සවස නින්දෙන් අවදි වීම මහා වැලි කතරක් මැද තනි වීමක් වැනිය. ඒ සාංකාබර සිතිවිල්ල මූසල පාළුවකි.