Monday, December 5, 2016

ඉස්සර සිංහලේ කියල සුරංගනා දූපතක් තිබුණ

උඳු වපුරන මාසෙ සීතල. වැස්සක් නෑ. තිබුණනම් කියල හිතෙනව. උදේට අම්මට උයන්න උදව් වෙන්න නැගිටින්න හිතන් හිටියට හොඳට නින්ද යනවා. සනීපම අහැරුන ගමන් ආයෙත් පෙරවං කුදු ගැහෙන එක. මනෝ චිත්‍රයක් මවා ගෙන තුරුල් වෙන එක. ඒත් පාන්දර නැති කර ගන්න ලෝබයි. ලාවට වැටෙන එළියෙ අමුතු සන්සුන් ගතියක් තියෙනව. ඒක නිස්කලංකයි. ඊටත් වඩා බිත්තර වී ගන්න අකලට හිටවපු ඇල් වී ගහක කරලක් මෝදු වෙනව. ඒ කවදාවත් දැකපු නැති ලස්සනක්. අපූර්ව සතුටක්. කාලයක් අතු කෑලි ගහල පැළ කරව ගන්න බැරුව හිටපු ලී කොළ අත්තක් වත්තෙ කොනක දලු දානව. මහට ගේ වටේ ඉන්දපු බිජු ටිකත් පණ ගහල එනව. ඒ සතුට විදින්න හීතල පොරවං එළි බහිනව. භාවනාව නතර වෙන්නෙ දෙමලිච්චියො ටිකක් කෑ මොර දෙන්න පටන් ගන්න කොට. ඊට පස්සෙ කරුම ගෙවන්න කන්තෝරු යන්න ලෑස්තිය.

බස් එකට යන්න තියෙන පාර වැටිල තියෙන්නෙ වෙල් යාය මැද. නැගෙනහිරට මූණල. පළාතම මීදුම අරක්ගෙන. පින්න ඉහට කඩන් වැටිල කිවිහුමක් දෙකක් යනව. ආයෙත් ඔලුව උස්සල කරකවල වටේ බලනව. වැඩට යන එක නවත්තල බලන්න තරං වටින දෙයක් එතන තියෙනව. මීදුම මැද්දෙ ඈත ගස් වල හොල්මන් කරන හෙවනැලි. වෙලේ දෙපාවල වතුර සද්දෙ. ගොයමෙ කාන්තිය. නෑ.. ඒ මිහිකතේ මිහිරිය. මේ කන්නෙ යායෙ කෙළවරට යනකංම අස්වද්දල. බලන්න සිරියාවයි. වේල්ලෙ වතුර වහල. මහ ඇලේ වතුර පිරිල. තඩි කබරා හැමදාම වගේ මං යන පැත්තට විරුද්ධ අතට බඩ ගානවා. පාර දෙපැත්තෙ පිංවන්තයෙක් හිටවපු කහ මලුයි වතුසුද්දයි පිරිල. වෙලේ කොක්කු උදෙන්ම වැඩ. මේ ලස්සන සීතල පිනි වළාවකින් වෙළල. හිත හීතල කරනව.  මට සිහියක් නෑ. පාරෙ වාහන මට රවං යනව. වතුර ගලන සද්දෙ මකාගෙන යකඩ සද්ද හිත යට කරං යනව. හිතට අරක් ගත්තු තාපසයා නව ගුණ වැල අතෑරල කඩු කිණිසි අතට ගන්නව. සීතල අස්සෙ දාඩිය වැගිරෙනව.

ඇයි නියර ටික ටික ලොකු වෙලා මහ වාහන යන පාරක් වුනේ. පාරවල් බලං ඉඳිද්දි මේ දූපතේ සාරය ගිලිනව. හිමිදිරිය මවන්නෙ පුදුම ලස්සන චිත්‍රයක්. ඇත්තටම අද මට මේ පේන චිත්‍රය මැවිල්ලක් විතරම තමයි. ඇත්තටම ගොයමෙ ලස්සන බලන්න පාරෙන් නියරට බහිනවා. එතකොටයි ඇත්ත පේන්නෙ. නියර අයිනෙ වහ කුප්පි ගොඩ ගහල. ගොවියො නොවෙන ගොවියො තෙල් ටැංකි පිටේ බැඳං බූට් දාගෙන නියර දිගේ දුවං එනවා. වෙලකට අඩියක් තියන්න බෑ තෙල් තට්ටුවක් ඇඟිලි අස්සෙන් උඩට පනිනවා. වෙලට බහිනවනම් පෙති බීල ඉඳහං කියල තමයි කියන්නෙ. කුඹුරක් දැක්කාම හිතේ ඇඳෙන්නෙ පිංවන්තයෙක්ගෙ රූපයක්. කුසගින්දරට බත් ටිකක් දෙන්න වීරිය වඩන බෝධිසත්වයෙක්. ඒ වීරිය වැඩිල්ල දාන පාරමිතාවක්. හැබැයි ඒ රූපෙ බොඳ වෙලා යන්නේ ඇළ පාරවල් දිගේ ගලං යන වහ ගොඩ පේන්න පටන් ගත්තට පස්සෙ. ඇළ පාරවල වැවෙන විකෘති ගස් ජාති පේන්න පටන් ගත්තට පස්සෙ. ඇයි මෙච්චර බොරුවක්. පාරෙ දුවන්න වාහනයක් ගන්න පොළොවට පුලුවං තරං වහ පුරවනව. වහ කාල ලෙඩ වුණාම ඒ වාහනෙන්ම ඉස්පිරිතාල ගානෙ පදිනව. අපට විදියක් තිබුණා. පරිසරේට වඳින සිරිතක් තිබුණා. ඒ සිරිත නිසා ඈතට ලස්සනකුත් මෑතට ජරාවකුත්  තිබුණෙ නෑ. අද ඒ සේරම වෙනස් වෙලා. ඒ කුඹුර අද කෞතුකාගාරෙ. කුඹුර ගම වටේ තිබුණ සංස්කෘතිය අද ඉතිහාස පොතේ.  ඒව එළියට ගත්තොත් රට වැටෙනවා. සංවර්ධනය අඩාල වෙනවා. ඒ නිසා අපි එක එකාට වැඳ වැඳ ඉන්නව. අපට අපේ බිත්තර වී ටික තිබුණ. සාර පොළොවක් තිබුණ. කන්න බොන්න අඳින්න ඕන විජ්ජාවල් සේරම තිබුණ. උන් අපිට කිව්ව ලිං මැඬියො කියල. අපි ඇන්ද. අපි ලිඳෙන් ගොඩ වෙනකන් ඉඳල අපේ සේරම නැති කරා. අන්තිමේදි උන් අපට ජාන විකෘති කරපු බිජු දුන්න. ඒවට හරියන වස තෙලුයි පෝරයි දුන්න. ඒව නිසා ලෙඩ වෙනකොට බෙහෙත් ටිකත් දුන්නා. අපි ඒවට ගෙවන්න ඩොලර් හොයන්න දවල් රෑ නැතිව නිකං නැහෙනව. අපිව මරන උන් ජීවත් කරවන්න ඔහේ නැහෙනව. අද අපට අපේ කියල කෑමකුත් නෑ. බෙහෙතකුත් නෑ. පොළොවකුත් නෑ. අන්තිමේදි ලස්සනක් විඳින්න පුලුවන් ජීවිතේකුත් නෑ. නිදහසකුත් නෑ. නිවනකුත් නෑ. ඇයි දිව්‍ය ලෝකයක් මෙහෙම විනාස වෙන්න අරින්නෙ.

තවමත් යංතං බේරිලා තියෙන සොබාදහමෙ ලස්සනවත් ඒක විනාස කරන හැතිකරේ ගැනවත් හිතට එන තරහ ලියල ඉවර කරන්න බෑ. එහෙම දෙයක් ලියන්න තරං හැකියාවකුත් නෑ. මේ උඳුවපේ තව ටික දවසකින් සමණොළ වඳින කාලෙ පටන් ගන්නව. අහල තියෙනව මේ කාලෙට බුරුතු පිටින් සමණල්ලු කන්ද වඳින්න යනව කියල. දැනටත් ඒක සුරංගනා කතාවක් වෙලා ඉවරයි. ඇහැ ඇරල බලපල්ල එක සමණළයෙක්වත් පේන්න ඉන්නවද කියල. ඉතිරි ටිකත් එහෙමම තමයි. එතකොට කියයි 'ඉස්සර සිංහලේ කියල සුරංගනා දූපතක් තිබුණ. ඒ දූපතේ සිතූ පැතූ සම්පත් තිබුණ.' කියල. හැබැයි ඒ සිංහලෙන් නම් නෙවෙයි.