Friday, December 2, 2016

නොඇසෙන විලාපය

යන්තම් නයිටියෙන් වැසුණු ඇගේ දෙකකුල් දුහුල් රෙද්ද පොගවා ගත් මගේ කඳුලින් සේදී ගොස් ඇත. විටින් විට ඇගේ සිහින් ඉකියත් ඉඳහිට හිසට වැටෙන උණු කඳුලක උණුසුමත් මට දැනේ. මා උකුල මත හොවා ගෙන ඇඬුම්බර සැනසුම් වදනක් තොල ගා සීතල අතැඟිලි වලින් හිසකේ පිරිමදිනවාට වඩා දෙයක් දැන් ඇයට කරන්නට නැත. නපුරු ළමයෙකුට බියවැදී අම්මාගේ චීත්තයේ දැවටෙන බියඟුලු කොලුවෙකු සේ මම ඇයගේ සෙවනේ දැවටී ගතිමි. තව දුරටත් ඇගේ මුදු දෙපා වල මිහිරක් මට නොදැනේ. මා නිසා මියයන මිනිසුන්ගේ මළගමේ අඳෝනාව මගේ පපුව දවා නංවා ගිනි දලු මස් මාංස ඇට නහර උණු කරමින් ඉහළට පැමිණ උගුරේ සිරවේ.

මම ඔවුන් මැරුවේ නැත. මරන්නට අනුබල දුන්නේද නැත. මා වෙනුවෙන් නීතියක් ඉදිරියේ කිසිවෙකු චෝදනා ගොනු කලේද නැත. ඔවුන්ගේ මරණ මා ඇවිදින මළමිනියක් කර ඇති බව පවුලේ කිට්ටු ඤාතීන් හා හිත මිතුරන් කීප දෙනෙකු මිස වෙනකෙක් දන්නේ නැත. මගේ විලාපය කිසි වෙකුටත් ඇසෙන්නේ නැත. නමුත් මම හඬමි. මා කඳුලේත් අසරණකමේත් වහලෙක් වී ඇත. මා කලේ මාස කීපයකට පෙර කර්මාන්ත ශාලාවෙන් කිසිදු හානියක් නොවෙතැයි ලිපියක් ලිවීම පමණි. කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් ඔවුන් වෙනුවෙන් ලිවීමට මට වියදම් කරේ නැත. සන්තෝෂමක් දුන්නේද නැත.

නමුත් මම ලීවෙමි. ප්‍රකට රටට වැඩදායී මාධ්‍යවේදියෙක් වීම මගේ අරමුණක් විය. බලාපොරොත්තුවේ රන් කරල් දැකීමට මම මහන්සි වී වැඩ කළෙමි. රටේ සංවර්ධනයට මා දායක විය යුතු බව මම උගෙන ඇත්තෙමි. සංවර්ධනයේ අරුනළු රට වෙළා ගනු මම ඉමහත් ප්‍රීතියෙන් බලා සිටියෙමි. රට පුරා නිෂ්පාදනය විය යුතුය. කර්මාන්ත ශාලා ඇති විය යුතුය. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අයාලේ යන කිහිප දෙනෙක් කොක්දෙණිය කර්මාන්ත ශාලාවට විරුද්ධව කටයුතු කරන්නට විය. මාධ්‍ය ආයතනයේ ප්‍රධානියෙකුගේ මග පෙන්වීම යටතේ නිසි අධ්‍යනයක් කළ මම කර්මාන්ත ශාලාවෙන් කොක්දෙණියට හෝ සමස්ථ පරිසරයට කිසිම හානියක් නොවන බවත් රැකියා වැඩිවී ඒක පුද්ගල ආදායම වැඩිවී ජීවන තත්වය ඉහළ ගොස් සංවර්ධනය වන අයුරු හැඟීමෙන් යුතුව ලීවෙමි. රන් කරල් නෙළා ගැනීමට සියල්ල සැකසෙද්දි  අක්වැහි වැටී මුලු ගොයමම පාළු වනු එදා මම නුදුටුවෙමි.

නදිනි තදින් රත් වී ගෙන එන මගේ හිසේ ගැල්වීමට සිද්ධාර්ථ තෙල් කුප්පිය රැගෙන එනු පිණිස ගියාය. වැසි නොමැතිව ඉරි තැලී මැරී ගිය ක්ෂේම භූමියක අනාථව වැටී සිටි මට ඇය ඈතට පාවී යන වැහි බර වළාකුළක් මෙන් විය. මම බිත්තිය මුල්ලේ දෑතින් මුහුණ වසා සැඟවුණෙමි. දරුවෙක් මුලින්ම බිලි විය. මගේ ලිපියට සෘණාත්මක විවේචන ලැබී තිබුණද මා පළමු වරට තිගැස්සීමට ලක් කළේ ඒ ප්‍රවෘත්තියයි.  ක්‍රමයෙන් රෝගීන්ද මරණද වැඩි වීමට පටන් ගැනුණි. හඳුනා නොගත් රෝග ලෙස ප්‍රකාශයට පත් විණිද ප්‍රසිද්ධ නොකෙරිණ. කොක්දෙණියට අනුයුක්ත සෞඛ්‍ය බලධාරීන්ට වරද පටවා ලිපියක් පළ කොට හිත එකළස් කර ගැනීමේ මගේ මෙහෙවර අසාර්ථක විය.

කොක්දෙණියේ මළ ආත්ම පළමු වරට මට නිදහසේ හිතීමට ඉගැන්වුයේය.  ඒ රජයේ පාසලේ මා ලද ඉගැන්වීමට වෙනස් දෙයකි. සූක්ෂම ලෙස ඔවුහු මා ලවා මිනී මරවා ඇත. සංවර්ධනය වනාහී ගිජුලිහිණියන්ගේ ගොදුරු බිමක් වැන්න. මා එහි ගිජුලිහිණියන්ගේ අතරමැදි නියෝජිතයෙකි.  කුලී ඝාතකයෙකි. ගොදුරකි. අපට උගන්වා ඇති සංවර්ධනය ගිජුලිහිණියන් සඳහා මිස ගොදුරු සඳහා නොවෙයි.  කොණ්ඩය කොටට කප්පවා තෙල් ගා පැත්තට පීරවා ඔවුන් අපව පාසල් ගෙන්වා ගත්තේ බ්‍රොයිලර් කුකුළන් මෙන් ගොදුරු සඳහා අපව හැඩගසා ගැනීමට නොවේ නම් වෙන කුමන අරුතකටද. ඔවුහු අපට අකුරු උගන්වා ඇත්තේ දිව කැපීමෙන් ඉක්බිතිය. ක්‍රමයද ආණ්ඩුවද ගිජුලිහිණියන්ගේ රූකඩ නියෝජිතයින් පමණි. සියල්ල පඹගාලකි. පැටලිලි දිගහරින මත්තෙන් ගොදුරු වී අවසානය. එහෙයින් ජීවත් වී කුමන පළක්ද. අවුරුදු තිහක් පමණ එක දිගට ගොඩනැංවූ මායාකාරී ලෝකයක් සැනෙකින් සුණු විසුණු වී යනු මට දැනිණි.  

මම නැවත ලියුවෙමි. කම්හල මිනිසුන් අමුද්‍රව්‍ය ලෙසින් ගෙන නිෂ්පාදන මවන බව ලීවෙමි. ලිපිය පළ වූයේ නැත. නමුත් ඉහළටම ගියේය.  වගකීමකින් වැඩ කළ යුතු බවට ප්‍රධානියා උපදෙස් දුන්නේය. අහිංසකයින් දඩයම් කර ගත් මහා සිංහයා ගල් ගසා මැරූ මහා යෝධයා ලෙසින් මම නැවත කර්මාන්ත ශාලාවට විරුද්ධව ලීමි.  එවර උපදෙස් ලැබුණෙ නිර්ණාමික ඇමතුමකිනි. කම්හල පසසා කළ වැරැද්ද නිවරැදි කර ගැනීමට මට කුමන ලෙසකින් වත් අවසර නොලැබුණි. මා ලවා ලියවීම මෙන්ම මා අඩපණ කිරීමද ඔවුනට සුළු දෙයක් බව තේරුම් යන විට දැනෙන වේදනාව හිත දරුණු වියවුලකින් පුරවා දැමීය. කොක්දෙණියේ මිනිසුන්ගේ සාපය නැවත එකළස් නොකළ හැකි සේ මගේ ජීවිතය සී සී කඩ කළේය.

මෙය හිත පසාරු කර යන මූසල කළකිරීමකි. වේදනාවකි. මිය යමින් සිටින්නේ කොක්දෙණියේ අහිංසකයින් පමණක් නොවේ. රටෙන් භාගයක් පමණ මාරාන්තික ලෙඩ්ඩුන්ය. ණයට ගත් මුදලින් රෝහලක් සාදා සමාගම් වලින් බෙහෙත් පොම්ප කරනවා ඇරෙන්න රෝගයේ හේතුව නසන්නට ගිජුලිහිණියෝ ඉඩ නොදෙති. නීතියේ නාමයෙන් සංහාරයක් සිදුවෙමින් පවතී.  හෙට නදිනිද ඈ කුස තුළ සිටිනා බිළිඳාද මේ සංහාරයේ කොටස් කරුවන් වන්නේය. එය මා කෙසේ දරාගන්නද. කොක්දෙණියේ මිනිසුන් මෙන්ම ඔවුන්ද වධ විඳ මිය යනු ඇත. ඔවුන් විලාප නගනු මට අසා සිටීමට සිදුවේ. ඔවුහු ජීවිතය වෙනුවෙන් මට ආයාචනා කරනු ඇත. දෙවියනේ මා කුමක් කරන්නද. මුවහත් පිහිතලයක් හදවතේ මස් පසාරු කරගෙන ලේ තුළ වැකෙනු මට දැනේ. පළා යන මං නැති දිවියන් වට කරගත් මුවෙකු මෙන් මා ගැසෙයි.

ඇස් කළු දුමාරයකින් වැසී යනු මට දැනිණ. විකෘති ප්‍රචණ්ඩ සිතිවිල්ලක් සිත පුරා ගති. මහත් කුණාටුවක් පැමිණ කාමරයේ ජනේලය මහ හඬින් වසා දැමීය. දරඳඩු වැහි කෝඩයක් උළු පුපුරන වේගයෙන් වහලට පහත් වීය. පාරේ බල්ලෝ උඩු බුරලන්නට වූහ. කර්කශ හඬ නැගූ හෙණයක් මා නැගිට්ටුවේය. මම මදුරු දැල එල්වා තිබූ වයරය ඇද ගතිමි. ඇඳෙන් මෙහාට වන්නට සිවිලිම් තහඩුවක් පන්නා වයරය පරාලයක ගැට ගැසීමී. මුරුගසන් වරුසාව පොළොව ගිලගනිමින් තිබේ. ටිකෙන් ටික උස් වන ජල කඳ මගේ හුස්ම හිරකර දමයි. අමිහිරි වේදනාවක් ගත තුල දුවයි. ගල් ගැසුණු කකුල් බඳාගත් නදිනිගේ අසරණ වියරු කෑගැස්ම යන්තම් ඇසේ. මට මහත් වූ දුකක් දැනේ. මම විලාප තැබුවෙමි. එහෙත් එදා මෙන්ම අදටත් එය ඇසුණු කෙනෙකු නැතිය.