Wednesday, December 14, 2016

මම සහ කඳු

මම සහ කඳු නොහොත් කඳු එළි කර බිම් සාදා වප් පිණිස වැසි එන තෙක් බලා සිටින අපි

නැවත වතාවක් නිවාඩු ලත් ඇසිල්ලක කඳු පළාතක ඇවිද්දෙමි. නගරයේ කෘතීම වූ ගොරහැඬි, කාශ්ඨක හා වේදනාත්මක දැනීම් වලට කන්දෙන් වට වුණු ප්‍රකෘතිමත් ගම් පළාත තවමත් අමයුරු ඖෂධයකි. නිල් කැටේට වතුර පිරුණු ළිඳකට බාල්දියක් දමන විට ජනනය වන නැවුම් ශබ්දය පවා හිත මිහිරි හැඟුමකින් කුල්මත් කිරීමට සමත්ය. අඳුර ගලන හෝරාවක තුරු පෙලකින් ආවරණය වූ නිහඬ ගුරු පාරක් දිගේ කරන සක්මනක අව්‍යාජ ආශ්වාදය කෙතරම් පියකරුද. දේවාලයේ ගුප්ත ඝණ්ඨාර හඬ වා තලය ඩැහැ ගනී. රැහැයි හඬද විටෙක ඉපෙදෙන ගෙඹි හඬද මැදි කර දොළ පාර කන් පෙති අතරින් ගලා බසී. ගම වට කොට ගත් කඳු වළල්ල සිත වට කර ගත් සන්තුෂ්ටියට පළා යාමට නොදී මං අවුරා සිටී. සියල්ල සන්සුන්ය. ප්‍රකෘතිය නිසල සෞන්දර්යාත්මක සංවේදනාවකි.

කඳු පන්තියක රූ නෙතඟ ඉලීමත් තණ ගාලක් දෙබෑ කොට කන්දක බඩ ගෑමත් සීතලින් වශීකෘතව කඳු මුදුන් සිසාරා සංචාරයත් නොසන්සිඳෙන සංතෘප්තිකර අනුභූතීන්ය. ඒ දැනීම විස්තර කොට ගළපා ලිවීම මහත් වෙහෙසකරය. ගැළපුම් දෙන වචන සොයා සිතිවිලි හද මං පෙත් වල ගැඹුරටම කිමිදී ගවේෂණය කරයි. පේර මලක රේණුවෙන් රේණුව රොන් සොයනා කෘමියෙකු මෙන් එහිම ගැලී සොයමි. වෙහෙසී තවෙකුට කියා පෑමට වචන ගොනු කරනවාට වඩා ඒ මතක පෙත්හි පිරුණු සතුට වමාරා භක්ෂණය නොකරන්නේ මන්දැයි ආත්මාර්ථකාමී චෛතසිකයෝ තර්ක කරති. ඒ සෝබාවට සිත එතරම් ලෝභීයය. කන්ද හා මා අතර ඇත්තේ දෘඪ ආත්මීය බන්ධනයකි.

නොසන්සිඳෙන ආශාවලින් කුළු ගැන්වුණු චිත්ත ප්‍රීතිය අසීමිත බලාපොරොත්තූන් නිසාම දැන් දැන් ඉරි තැලී යමින් පවතී. කලක් මා බලාපොරොත්තු වූ මා පිනවූ ඒ අලංකාරයවත් ඒ සිසිලසවත් සිතූ පැතූ සේ උකහා ගැනීමට මට අද වරම් නැත.  නිල්ල ගැසී එන ගොයම් පැළ අතරින් වල් පැළ අතොරක් නැතිව ඉහ ඔසොවමින් සිටී. කන්දේ ප්‍රතාපවත් බව කඳු තුළ ගිලී යමින් ඇත. ඒ වෙනුවට සාහසික මෘගයෝ කඳු නිරුවත් කරමින් ඉහලට ඇදෙති. කලක් ජීවමය හරිත වර්ණයෙන් සිත් ජීවත් කරවූ කන්දේ රූ රස කෘතීම වූ වන වගා වලින්ද බෝග වගා වලින්ද වැසී යමින් පවතී. කඳු හඬා වැටෙයි. වරෙක ප්‍රණීත දිය දහර වෙනුවට අද නිම්න දිගේ යන්තමින් ගලා බසිනුයේ එහි කඳුලු දහරාවයි. එයද ඉක්මනින් අවසන් වනු ඇත. ඒ සමග මටද නික්ම යෑමට සිදුවේ.

සිංහලේ රජුන් හා මුනිවරුන් විසින් එළි කිරීමට තබා ඇතුලුවීමටවත් තහංචි පනවා තිබූ මහා කඳු වන බිම් වල සුදු මහත්තුරු රිසි සේ තේ රබර් වැවීය. ෆයිනස් වැවීය. අපව ශිෂ්ඨ කිරීමට ආ සුදු මහත්තුරු කන්ද අමු අමුවේ මර මරා කන්දේ සාරය මිලේච්ඡ ලෙස රට පටවා පොහොසත් වූහ. ඒ අසාර පොහොසත් කමට වහ වැටුණු, සුදු මහත්තුරු ඉදිරියේ රෙද්ද එහා මෙහා කර දිගේලි වුණු මිත්තණියන් සිටින ලංකාවේ මහත්වරුන්ට අදටත් වරද නිවැරදි කර ගැනීමට ඕනෑ කමක් නැත. ඔවුහු මුදලට දූෂණය වීමට කවදත් කැමැත්තෝය.

අවසර ඇතිව හෝ නැතිව අද කඳු මුදුන් තෙක්ම එළි කර වගා බිම් සකස් කර ඇත. මුලු කඳු භූමියම එළි කර එළවලු වගාවද දැන් කඳු මුදුන් වල ජයටම සිදුවේ. නමුත් අවාසනාවක මහත. කන්ද එළි කර බිම් සකස් කර වැපිරීමට වැස්ස එන තෙක් ගොවීහු මුව අයා බලා සිටිති. නැතිනම් යන්තම් පණ ගැසූ බිජුවට වතුරක් හෙළන්නේ කෙසේදැයි කල්පනාබරිතව සිටිති. මෙය මහත් වූ ඛේදවාචකයකි. සත්‍ය සිදුවීමකි. දැන් දැන් අනාගතය පිළිබඳ අඳුරු සෙවනැලි මැවෙන්නට පටන් ගෙන තිබේ. ප්‍රශ්නයද පිළිතුරද සරළය. වන ගහනයෙන් තොරවූ කඳු මුදුන් රහිත වූ කලෙක කුමන වැස්සක්ද. සොබා දර්මය පිළිබඳව මෙලෝ සංසාරයක් නොදන්නා නවීන විද්‍යාවද අබිං සේ ඊට ඇබ්බැහි වූ අදූරදර්ශී ඊනියා උගත් පරපුරද වන විනාශයක් කදු විනාශයක් වැසි රහිත වීමට හේතුවක් සේ නොදකියි. උන්ගේ පස්ස ලොවින්නාවූ සාමාන්‍ය වැස්සෝ මෝසම සක්‍රීය වී වැස්ස එන තෙක් බලා සිටිති. කන්දේ ගස් කොළ නිබඳවම වැස්සට වළාවට ආදරය කරයි. ඔවුහු පින්න නිපදවන්නෝය. වැස්ස නිපදවන්නෝය. උල්පත් නිපදවන්නෝය. දිය දහරා නිපදවන්නෝය. ජීවය නිපදවන්නෝය. මිනිසාට අසීමිත අවශ්‍යතා නිපදවූවෝ මුලින්ම කන්දත් ගස් කොළනුත් නැති කළෝය. ඉනික්බිති පින්න නැති වෙයි. වැස්ස නැති වෙයි. උල්පත් නැති වෙයි. දිය දහර නැති වෙයි. අවසානයේ ජීවය නැතිවී යයි.  

ක්‍රමය විසින් අවශ්‍යතා සංකීර්ණ කොට ඇතුවා පමණක් නොව අවශ්‍යතා බලහත්කාරයෙන්ම ජීවිත වලට සම්බන්ධ කරමින් සිටියි. සංවර්ධන දර්ශක මිනිස් ජීවිත බිලි ගනිමින් සිටී. කෘතීමව නිමැවූ විකෘති අවශ්‍යතා මෙන්ම දර්ශකද මිනිසාට කන්ද මුලුමනින්ම එළි කර වගා කරන්නට හේතු සපයයි. වෙනෙකෙකු බලෙන් පෙන්වූ, බල්ලෙකුට ඉදිරියෙන් එල්වා ඇති මස් කටුවක් වන් වූ ජය කණුවට උපරිම ජවයෙන් දිව යන අප හාමතේ දිය පොදක් හෝ නොලබා විඳවන දවස වැඩි ඈතක නොවේ.

දැන් දැන් වනසාලන කඳු පන්ති දැක සිත තලා පෙළා තෙහෙට්ටු කරවනවාට වඩා ඇස් කන් වසා ජීවත් වීම හොඳ යැයි සිතේ. කන්දේ තුරු පෙළේ ගැවසුණු පින්නෙන් තෙත් බරිත වූ සුළං රැල්ලෙන් සතපවාලූ මහද වැලි කතරක වියළි කර්කශ මාරුතයකින් වියළුවා ඇත. වරෙකදී මා මෙසේ ලියන්නේ මන්දැයි මටම ගැටලුවකි. විනාශය සොබා දහමේ නියතයකි. ඉඳින් විනාශයට පිටු පෑම සොබා දහමට පිටුපෑමක්මය. මා ආදරය කරන කන්ද මට ප්‍රත්‍යක්ෂ කර දීමට දත කනුයේ මහත් වූ සත්‍යක්ය. එහෙත් එය අවබෝධ කර ගැනීමට තරම් මා මුහුකුරා ගොස් නොමැත. එසේත් නැතිනම් ඊට මා සූදානම් නැත.