Thursday, December 1, 2016

නමුණුකුළු දුටිමි

වසර අටකට පෙර ලීයේ නම් නමුණුකුළ තරණයේ සියලු සිද්ධීන් සටහන් කිරීමට හැකි වනු ඇත.  ගමන් විස්තරයක් ලියන ලෙස බැස එන ගමනේදී නඩේ කවුරු හෝ ඉල්ලූ බව මතකය. එහෙත් කිසිම ලෙසකින් එය සිදු නොවුණි. ලියා පසුව කියවා රස විඳීමට තරම් වූ වැදගත් දේ එහි තිබුණි. කාලයේ වැස්සෙන් සේදී ගොස් ශේෂ වූ මතකය මෙසේ ලියා දමන්නෙමි.  නිදි ගත් මිහිරි මතක අවදි වීම සුමිහිරි හැඟීමකි. අර්ථවත් විඩාබර දිනයක් අවසානයේ සීතල දියෙන් ගත දොවා උණුසුම් පානයක් සමඟ හාන්සි පුටුවේ දිගා වූ කල එවන් හැඟීමකින් සිත පිනවීම තරම් භාග්‍යයක් තවත් ඇතිද.. ඒ භාග්‍යය මෙසේ වචන කිරීමට උත්සාහ ගනිමි.

පුදුමයකට මෙන් ගමනට ලක ලැහැස්ති වූ සැටි ගමන් ගත් සැටි කිසිඳු අයුරකින් මතක නැත. බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන අටට පමණ පිටතට පැමිණි සැටිද නගරයෙන් වේල් හතරකට පහකට සරිලන පරිදි ආහාර ගත් සැටිද හදිසියෙන් මුතියංගණ විහාරය වැඳ ගත් සැටිද එතනින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සමීපයට පැමිණි සැටිද යන්තමින් මතකයට එයි. එහිදී අපට කණ්ඩායමේ එකෙකුගේ මිතුරෙක් වන විද්‍යාර්ථිකයෙකු මුන ගැසේ. අපි ඔහුගේ නවාතැනට ගොස් අඩුවැඩියාව සකස් කර ගතිමු. මගේ මල්ලේ ඇඳ රෙද්දක් හැරෙන්න සීතලට පාවිච්චි කළ හැකි කිසිවක් නොවීය. කදු මුදුණේ ගල් ගැහෙන සීතල ගැන දේශනයක් දුන් මා නොහදුනන මිත්‍රයා බලෙන්ම කබායක් ඔතා දුන්නේය. අද මා වැඩ කරන ආයතනයේ වායු සමීකරණයේ සීතල මට සැමදාම දෙන්නේ මූසල දුකක් පමණි. දහවලේ කෘතීම සීතල බත් කෑම කටකට දෙකකට සීමා කර ඇත. රැකියාවක් කරනුයේ මූලිකවම කෑම පිණිසය. මා ගෙවන කරුමයේ අරුමය නම් රැකියාවක් කලද සතියේ දින පහක් නිකරුණේ හාමත් වීමය. වරෙක කිසියම් වැඩසටහනකට පිටරැටියන් පිරිසක් සතියක් පමණ ආයතනයේ රැදුණි. එසතිය මෙරටුන්ට පර රටේ සීතලේ සිටීමට සිදුවිය. දීන කම මහමෙරට වඩා උසය. වැහි සීතලට හෝ කන්දේ සීතලට මා කරන ඇල්ම දන්නේ මා පමණි. ඒ දැනෙන සීතල කරුමක්කාර වායු සමීකරණයෙන් දැනෙන සීතලට වඩා වෙනස් යැයි මම කවරෙකුට කෝ කිවහොත් ඔහු එය පිළිගනී යැයි මම නොසිතමි.  කබාය ගෙනගියත් එය මම නොඇන්දෙමි.  නමුණුකුළු සීතලට ආදරය කළෙමි.

වැඩි වේලා නොගෙන අපි ගමන ආරම්භ කළෙමු. බසයකින් කඳු පාමුලට පැමිණි අපි පාර අසාගෙන නැග්ම ආරම්භ කළෙමු. මග වැටුනේ තේ වතු මැදිනි. තේ නමුණුකුළ ගිල ගනිමින් සිටී. කිසිදා එළි නොකළ යුතුව තිබූ කඳු වනාන්තර තේ වතු වූයේ කෙසේදැයි කාගෙන් අසම්ද..  වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව. අපට සංසාර පුරුද්දකට මෙන් පාර වැරදුණි. අයාලේ යෑම කුඩා කල සිටම තිබූ අත් නොහැර හැකි පුරුද්දකි. ඒ භූත ඉරණම අද මහත් ආශ්වාදයක් දෙන්නක් බවට පෙරලී ඇත. කැලේ මං ගැන මහා දැනුමක් අප එකෙකුටවත් නොතිබිණි. අවමයෙන් මිනිස් අඩි පාරක් ඌරු මඟකින් වෙන් කරගැනීමට අපි අදක්ෂයෝ වීමු. අප ආයේ ඇවිදීමටය. ඉඳින් අපි ඇවිද්දෙමු.  අප සේන්දු වී තිබුනේ ඝන කැළෑ ප්‍රදේශයකටය. බඩ ගාන විට පිටේ මලු වැල් වල පැටලුණි. පඳුරු දෙබෑ කර යද්දී අත පය මූණ සිරී ලේ ගලන්නට විය. ටිකක් නැගි විට ලිස්සා තවෙකෙක් පිටට වැටිණි. කලබල ගමනෙන් මුල් වල පැටලී ගියෙමු. බොහෝ දුර දණ ගාගෙන හෝ බාගෙට නැවී යාමට සිදු විය. රිංගන්න පුලුවන් නම් බැද්දත් රජ මාවතක්ලු. නමුණුකුළු මහරජ අපව ගිලගෙන තිබුණි.

අතරමං වූ මහන්සියටම බඩගින්නක් ආ හෙයින් දවල් කෑම ලෙස ජෑම් සමග පාන් කෑවෙමු. ඊනියා ශිෂ්ඨත්වයෙන් මිදී නිදහස් හා සරල ලෙස රිසි සේ කෑවෙමු. වන සත්තු සේ වෙස් ගත්තෙමු. කන්ද නගින විට ගස් අස්සෙන් යන්තම් එළිය පෙනේ. මුදුන යැයි සිතා ප්‍රීති වීමු. පෙරටත් වඩා වේගයෙන් නැංගෙමු. ටික වෙලාවක් යන්නට මත්තෙන් රැවටී ඇති බව පසක් කර ගන්නෙමු. මහන්සි ඇර යළි නැග්ගෙමු. යළි යළිත් බොරු මුදුන් අපට සිනාසුනේය. සැමදා වී ඇත්තේ බොරු මුදුන් වලට රැවටීමය. මුලින්ම ශිෂ්‍යත්වයක් ආවේය. ඉවර වූයේ නැත. වාර විභාග ආවේය.ඉවර වූයේ නැත. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධි ආවේය. ඉවර වූයේ නැත. සම්මුඛ පරීක්ෂණ ආවේය. සිතුවේ යන්තම් ඉවර කියාය. නමුත් ඊළඟට ඇති කන්දේ මුදුනක් පේන්නේම නැත. සරණක් පතා බයාදුවෙන් බුදුන්ගේ මූණ බලද්දී 'යකෝ දැන් ඇති. නැවතිය' යැයි කියයි. මම 'එහෙයි' කියා උන්නාන්සේගේ කකුල් අල්ලා වැඳ පැමිණ යළි නගිමි. රැවටී ඇති බව දැන දැනත් රැලේම දුවමි. මහන්සියත් සමඟ අපේ වතුර අවසන් විය. නමුණුකුළ අපේ පිපාසය සංසිදෙව්වේ නැත.

සවස් වන විට අපි යන්තම් එළිමහන් තැනකට පැමිණියෙමු. කදු මුදුන් කීපයක් දිස්වූ නමුත් නමුණුකුළ මුදුන කුමක්දැයි අපට තෝරන්නට නොහැකි විය. එතැනට කන්දේ අනෙක් පැත්තේ පහළ ලැයිම් කාමර කුඩාවට දිස් විය. අපි බොහෝ දුර නැග තිබුණෙමු.  අසා තිබූ පරදි නමුණුකුළ මග එතරම් කටුක නැති ලෙහෙසි එකකි. ඊලඟ මොහොතේ අපි එය ප්‍රත්‍යක්ෂ කර ගතිමු. අපේ ඇස ගැටුනේ දර කැඩීමට ආ පිරිසකි. ඔවුහු අප පසුකර කන්දේ අප නැගි පැත්තට විරුද්ධ දෙසට පල්ලම් බැස ගියහ.  අවසනට ගිය ගැහැණියගෙන් මම 'නමුණුකුළ?' යැයි විමසීමි. ඇය අත දිගුකර කට පුරා සිනාවක් පා කන්දක් පෙන්වීය. සතුට වැඩි කමට හති වැටෙන තුරු අපි කන්දේ දිවුවෙමු.  හරි මග දිටියෙන් වැඩි වෙහෙසක් නොගෙන මුදුනට ලඟා වීමට අපට හැකිවිය. මම නමුණුකුළු දුටිමි.

නමුණුකුළ අපව මං වරද්දා අතරමං කළේය. වතුර පොදක් නැති කර නිරුත්තර කළේය. අවසන අමෘතය පොවා අපව පුබුදුවාලූයේය. රාත්‍රියේ ගිනිමැලයක් මැදි කරගෙන ගී ගයා අන්ධකාරයේ තරු සිතුවමක් යට නින්දට ගියෙමු. කන්දේ සීතල මා හැරදා නොගියේය. හිමිදිරිය අතිශය වර්ණවත් විය. ශබ්දයෙන්ද රූපයෙන්ද ස්පර්ශයෙන්ද අලංකෘතම විය. පිණි වලා සුදු පැහැද ගුවන ලා රත් පැහැද ගති. පූර්වයෙන් ඉර නැඟි කල්හි අපරෙහි කන්දේ සෙවනැල්ල රූප ගත වේ. අසීමිත ලෝභ කමකින් පිරුණු මම මුදුනේ නොයෙක් තැන්වලට දිවගොස් අසිරියේ වෙනස්කම් බැලීමි.  නමුණුකුළ අපව මායාවක පටලවා ඇති සෙයකි.

දෙවියන්ට වූ බාරයකට නැතිනම් ඒ හා සමාන දෙයකට පවුල පිටින් වසරකට වතාවක් කදු මුදුණේ ගත කිරීමට පිරිස් පුරුදු වී සිටී. අප කූඩාරම් ඇටවූ පළට හූවක දුරින් මුලු පවුලක්ම කඳවුරු ලා සිටියේය. එහෙයින්ම උණු තේ උගුරක් රස විඳීමටත් අපට හැකිවිය. හිමිදිරිය ගෙවෙන්නට මත්තෙන්ම අපි පල්ලම් බසින්නට පටන් ගතිමු.  නමුණුකුල සිසාරා තිබූ පොලිතීන් උර අපි පොදි ගසා ගතිමු. 'කැලේට වින කටින පර හැත්ත මැරීයං'. වස් කොට කොටා මං සොය සොයා අපි කැලේ පීරමින් ඇදුනෙමු.  නොබෝ වේලාවකින්ම අපි තවත් කදු මුදුන් කීපයක්ම නැග්ගෙමු.  ඝනට වල් වැදී තිබූ එක් සීඝ්‍ර බෑවුමක් දෙසින් වතුර ගලන හඬක් ඇසෙන්නට විය. වතුර නැතිව හෙම්බත්ව සිටි අපි බය අවදානම පසෙක ලා නොපෙනෙන දිය පහර සොයා වල් පීරා වල් වල එල්ලී පල්ලම් බැස්සෙමු. බසින්නට බසින්නට පල්ලම දිගු වුණි.  ඇහැට වතුරක් නොපෙනුණි. නමුත් ශබ්දය නොකඩවා ඇසුණු හෙයින් අපි සද්ද විද්ද අන්දරේලා වීමු. අවසන කැළය වසා ගත් අපමණ ලස්සන දිය ඇල්ලක් මොහොතකට පිපාසාව අමතක කලේය. තව මොහොතකින් තනි කරදා යන ඒ දසුන රිසි සේ උකහා ගන්නට ඇස් වලට රිසි සේ ඉඩ දුනිමු.  දියේ පහස විදීමට ගතට රිසි සේ ඉඩ දුනිමු.  සීතල වතුරින් රිසි සේ පිපාසය නිවා ගතිමු. ඒ නමුණුකළු සාරයයි. වන මැද ගලින් ගලට පැන මහත් සතුටකින් පිනි අවුස්සා මිහිරි හඬින් කෑ ගසාගෙන කෙළිලොළෙන් දුවන මේ යුවතිය දූෂණය කරන්නට කී දෙනෙකු නම් මේ කදු යට බලා සිටිත්ද. උන්ට නොපෙනෙන්න නුඹ දුවන මග පුරා කැළයෙන්ම නුඹව වසා දමා තියන්නට ඇත්නම්.  අපි ඇයත් සමඟම පල්ලම් බැසීමු. නමුණුකුළ නිදන් රක්නා බහිරවයෙකි.

පසුව අප ලගා වූයේ ෆයිනස් ගස් පිරුණු බෑවුමකටය. හිත පුරවා ගත් වේදනාව සිත් සේ කෑ කසා පිටකළෙමු. මෙතරම් සුන්දර පොළොවක ෆයිනස් වැවූ පරයා කවුද. සැඟවී ගත් පදුරේ කොළ කෑ ගෝනා නිකරුණේ මිය ගියේය. පොළොව පාළු කරන උන් නැසෙන්නේ මුලු මහත් සංහතියත් සමඟමය. ඒ ගැන සිතා මම මහත් වූ අමනුස්ස තෘප්තියක් ලබන්නෙමි. මේ විනාශය කරන්නවුන් වධ විඳ මිය යන්නේය. අනුබල දෙන්නන්ද වධ විඳ මිය යන්නේය. එසේ කිරීමට ඉඩදී නෝන්ජලයින් මෙන් බලා සිටින උන්ද වධ විඳ මිය යන්නේය. අවසන එය මා කරාද එලඹේ. මා අනුබල දෙන්නෙක්ද නෝන්ජලයෙක්ද වෙයි. සිත් තැවුල් විඳිනවාට වඩා මිය යෑම මහත් තෘප්තියකි. නමුණුකුළ හිස ඔසවා අප ගිල ගන්නා තෙක් මම ඉමහත් ආශාවෙන් බලා සිටිමි. නමුණුකුළ නීතියට මම ගරු කරමි.

අප පිය නැගුවේ මගක් නොදැනය. අරමුණක් නැති ගමන විවේකීයය. නිදහස්ය. කෙසේ හෝ ස්ප්‍රිංවැලි ප්‍රදේශයට අපි පැමිණ තිබුණෙමු. ඉතිහාසයේ අමතක වූ තවත් දිනෙක එය නමුණුකුළ සාරයෙන් පෝෂිත වූ උල්පත් ගැවසී ගත් වසන්තයේ නිම්නයයි. එතැනින් බදුල්ල හරහා යළි ඌවෙ මිතුරාගේ නවාතැනට පැමිණියෙමු. හොදටම හෙම්බත්ව සිටියත් බදුලු ඔයේ අතු ගංගාවකින් හොදින් නා ගතිමු. අප රක්නා නමුණුකුළට හිස නමා සංචාරය අවසන් කළෙමු. නමුණුකුළ දුක් අඳෝනා දාහක් මැද සිනාසෙමින් සිටියේය.

නමුණුකුළ ඉන්දක දෙයියන්ගේ අඩවිය බැව් එදා දැන නොසිටියෙමි. එය එදා දැන සිටියේ නම්  වෙහෙර බැඳි පොළොව රැකි ඒ මිනිසා වෙනුවෙන් පහනක් දල්වා එන්නටත් තිබුණි. සොබාවත් ප්‍රෞඩත්වයත් කැටි කොට ගත් මහා පෞර්ෂත්වයක් අද මම නමුණුකුළින් දකිමි.