Saturday, December 17, 2016

තාම මං උඹ ළඟම හෙටත් ඉස්සර වගෙම

නෑසූ නිසා උඹ කිවු දේ මං
යන්න ගිහින් උඹ දැන් ගොඩක් කල්
උඹ නොයා නැවතුනානම්
මං ළඟමයි දුක තවමත්

උඹට තිබුණා ටිකක් හරි
ඉන්න ඉඩදෙන්න නිදහසේ මට
තේරුණානම් මගෙ සතුට
උඹ තාමත් මං ළඟම

හිටිය මං විටදි හැම ඕන
කරේ හැම පිනවන්න නුඹ
නොවුණානම් ඕන වැඩි වැඩිය තව
තාමත් මං උඹ ළඟම හෙටත් ඉස්සර වගෙම

මං හිතුව රටක් ගැන අපි ඉන්න පොළොව ගැන
අපෙ පොඩියො දුව පනින ඉස්සරහ දවස ගැන
නොහිතුවානම් ජාතිවාදෙ ලෙසට නුඹ ඒ දහම
මං තාම උඹ එක්ක අපේ පොඩි උන් එක්ක

Friday, December 16, 2016

අපේ මුල් කැපුවා

පුරාණෙ ඉංදියාවට පවරල
වෙදකම ආයුර්වේදෙන් වහල
හරිත විප්ලවෙන් ගොවිකම මරල
සංස්කෘතිය ඉන්ඩස්ට්‍රියට දීල
ආණ්ඩුව පිටරටට විකුණල
දියුණු වෙයං කියල
අපේ මුල් කැපුවා

මුල් නැති අද
ඉතිහාසෙත් පිටින්
බෙහෙතුත් පිටරටින්
කෑම ටිකත් රට ඉඳන්
සංස්කෘතියත් රටින්
ආණ්ඩු කරන්නෙත් රටින්
සංවර්ධනෙන් අගතැන්

ප.ලි

ඉන්දන්න ජාන විකෘති නොකරපු ඇටයක් පැලයක් හොයාගන්න එක අද කළුනික හොයනව වගේ වැඩක්. කන්න වහක් නැති කෑමක් හොයාගන්න තැනක් නෑ. හිතන් හිටියෙ තාම කොස් වලයි පොල් වලයි හරි වස විසක් නෑ කියල. බම්බුව තමයි ඒවත් ඉවරයි. ළගදි රට යවපු තැඹිලි කන්ටේනර් දෙකක් ආයෙත් හරවල එවල විසයි කියල. කන පොලුත් එච්චරම තමයි. බොන්න හරි හමන් වතුර ටිකක් නෑ. තව ටික දවසකින් ඔක්සිජන් බැලුන් වගේ දේවලුත් විකුණන්න තියෙයි ටිකෙන් ටික නහයට අල්ලන් ඉන්න. ආණ්ඩුවට බැනල වැඩක් නෑ. ඒක රූකඩයක් විතරයි. ආණ්ඩු මාරු කරවල ජනාධිපති මාරු කරල වැඩක් නෑ. මොකා ආවත් රට පාලනය කරන්නෙ පිට රටින්. එක්කො පල්ලි. නැත්නම් සමාගම්. නැත්නම් රහස් සංවිධාන. උන්ගෙ ප්‍රතිපත්ති. උන්ගෙ න්‍යාය පත්‍ර. උන් අපට උගන්නල තියෙනව ගෙදර තියෙන මුව හමට තලන්න. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න අනිව ඉස්පිරිතාලෙකට ෆාමසියකට බඩගාන්න වෙනව. අමාරුවෙන් සිංහල වෙද මහත්තයෙක් හොයං ගියත් අන්තිමට බෙහෙත් ටික හදා ගන්න ගස් හොයන්න ආයෙ රට වටේ දුවලත් හොයාගන්න බෑ. ගස් කපල දාන්නෙ රැවුල කපනව වගේ ලේසියෙන්. අන්තිමට බෙහෙතක් හදාගන්න දන් නැති ෆාමසි වල ඒජන්ට්ල වෙච්ච දොස්තරල ගාව දණින් වැටෙන්න ඕනෙ. ලංකාවෙ අධ්‍යාපනේ උපරිම ඵලය කොහේ හරි තියෙන රහස් සංවිධානයක හරි බහුජාතික සමාගමක හරි නියෝජිතයෙක් බිහි කරන එක.

ඉතිහාසෙ අවුරුදු දෙදාස් පන්සීයකට කෙටි කරා. ඒකෙ ඇතුලෙ තියෙන්නෙත් අමු බොරුවක්. ඉතිහාසෙ පුරාවිද්‍යා එකට සින්නක්කර ලියාගෙන. ඒක පාලනය කරන්නෙත් පිටරට සමාගම්. කසි කබල් මහාචාර්යල දෙසන බොරු පිළිගන්න ඉස්කෝලෙන් උගන්නනව. තිබුණ හැමදේම ඉංදියාවට පටවල දැන් කියනව සේරම එහෙන් ආවයි කියල. දෙවිවරු එහෙන් ආව. බුදුන් එහෙන් වැඩිය. විජය එහෙන් ආව. කෑම බීම බෙහෙත් ඇඳුම් වැව් පොකුණු සේරම එහෙන් ආව. තව ටික දවසකින් එක්ටා එනව. ඊට කලින් තේ වවන්න ආව. ඊටත් කලින් දුංකොළ වවන්න ආව. දුංකොළ වවන්න ආපු උන් අද රටෙන් කෑලිත් ඉල්ලනව. අද වේදිකා නාට්ටියක් බලන්න ගියත් දුංකොළ ඇඩ් එකක්. ගෑනියෙක් නයිටියක් පිටින් ස්ටේජ් එක උඩ සිගරට් එකක් උරන එක පට්ටම රංගන කුසලතාවක්. තාත්ත කෙනෙක් තමන්ගෙම දුවත් එක්ක බුදිය ගන්න හැටි ලියන එක පට්ට හැකියාවක්. සිංදු වෙළෙන්දෙක් ලඟකදි කිව්ව හැටියට සිංහල සංස්කෘතිය නිසා ඉන්ඩස්ට්‍රියට ඉස්සරහට යන්න බෑ. ඇත්ත තමයි. ඉන්ඩස්ට්‍රි එකට හරියන සංස්කෘතියක් මෙහෙ නෑ තමයි. අපේ විදියට ජීවත් වෙන්න තියෙනවනම් ඔය මහ ලොකු ඉන්ඩස්ට්‍රි වලින් අපට වැඩක් නෑ මහත්තයෝ. අද රස විඳින්න පුලුවන් සිංදුවක් නෑ. නාට්ටියක් නෑ. පොතක් නෑ. කලා කෘතියක් නෑ. මනුස්සකම නැව් නග්ගල කොළොම්තොටින් ගොඩ බාගත්තු අමන කම කරපින්නගෙන කලාව රට පුරා යනව. මුල් ටික කපල දැම්මට පස්සෙ මේව්වත් වැඩද අපෙ හාමුදුරුවනේ.

Wednesday, December 14, 2016

මම සහ කඳු

මම සහ කඳු නොහොත් කඳු එළි කර බිම් සාදා වප් පිණිස වැසි එන තෙක් බලා සිටින අපි

නැවත වතාවක් නිවාඩු ලත් ඇසිල්ලක කඳු පළාතක ඇවිද්දෙමි. නගරයේ කෘතීම වූ ගොරහැඬි, කාශ්ඨක හා වේදනාත්මක දැනීම් වලට කන්දෙන් වට වුණු ප්‍රකෘතිමත් ගම් පළාත තවමත් අමයුරු ඖෂධයකි. නිල් කැටේට වතුර පිරුණු ළිඳකට බාල්දියක් දමන විට ජනනය වන නැවුම් ශබ්දය පවා හිත මිහිරි හැඟුමකින් කුල්මත් කිරීමට සමත්ය. අඳුර ගලන හෝරාවක තුරු පෙලකින් ආවරණය වූ නිහඬ ගුරු පාරක් දිගේ කරන සක්මනක අව්‍යාජ ආශ්වාදය කෙතරම් පියකරුද. දේවාලයේ ගුප්ත ඝණ්ඨාර හඬ වා තලය ඩැහැ ගනී. රැහැයි හඬද විටෙක ඉපෙදෙන ගෙඹි හඬද මැදි කර දොළ පාර කන් පෙති අතරින් ගලා බසී. ගම වට කොට ගත් කඳු වළල්ල සිත වට කර ගත් සන්තුෂ්ටියට පළා යාමට නොදී මං අවුරා සිටී. සියල්ල සන්සුන්ය. ප්‍රකෘතිය නිසල සෞන්දර්යාත්මක සංවේදනාවකි.

Tuesday, December 6, 2016

ජාතියේ පවට නිවන් මග වැසෙනවා

ගුරු පාට සිවුරු පොට
දරා ගත් බුද්ධ පුතු
දොරින් දොර පිඬුසිගා වඩිනවා
ගමින් ගම නිවන් මඟ පිරෙනවා

බුද්ධ බල දම් වතුර
සිසිලසෙන් දොවා ගත
ලෙන් දොරෙන් වන බිමෙන්
ගම් බලා වඩිනවා
වැලි කැට පවා අමා සුව ලබනවා

මෝහයෙන් අන්ධ සිත
සැප නම්බු පුරවන්න
වැටි වැටී නොනැවතී දුවනවා
නගරෙටම වාල් කම් කරනවා

සනසවා මිහිමඬල
වැඩියාට ගම් දොරට
පින් බිමක් පාළු කර
කවුරු නම් දන් දෙන්න හිඳිනවා
ජාතියේ පවට නිවන් මග වැසෙනවා

Monday, December 5, 2016

ඉස්සර සිංහලේ කියල සුරංගනා දූපතක් තිබුණ

උඳු වපුරන මාසෙ සීතල. වැස්සක් නෑ. තිබුණනම් කියල හිතෙනව. උදේට අම්මට උයන්න උදව් වෙන්න නැගිටින්න හිතන් හිටියට හොඳට නින්ද යනවා. සනීපම අහැරුන ගමන් ආයෙත් පෙරවං කුදු ගැහෙන එක. මනෝ චිත්‍රයක් මවා ගෙන තුරුල් වෙන එක. ඒත් පාන්දර නැති කර ගන්න ලෝබයි. ලාවට වැටෙන එළියෙ අමුතු සන්සුන් ගතියක් තියෙනව. ඒක නිස්කලංකයි. ඊටත් වඩා බිත්තර වී ගන්න අකලට හිටවපු ඇල් වී ගහක කරලක් මෝදු වෙනව. ඒ කවදාවත් දැකපු නැති ලස්සනක්. අපූර්ව සතුටක්. කාලයක් අතු කෑලි ගහල පැළ කරව ගන්න බැරුව හිටපු ලී කොළ අත්තක් වත්තෙ කොනක දලු දානව. මහට ගේ වටේ ඉන්දපු බිජු ටිකත් පණ ගහල එනව. ඒ සතුට විදින්න හීතල පොරවං එළි බහිනව. භාවනාව නතර වෙන්නෙ දෙමලිච්චියො ටිකක් කෑ මොර දෙන්න පටන් ගන්න කොට. ඊට පස්සෙ කරුම ගෙවන්න කන්තෝරු යන්න ලෑස්තිය.

Friday, December 2, 2016

නොඇසෙන විලාපය

යන්තම් නයිටියෙන් වැසුණු ඇගේ දෙකකුල් දුහුල් රෙද්ද පොගවා ගත් මගේ කඳුලින් සේදී ගොස් ඇත. විටින් විට ඇගේ සිහින් ඉකියත් ඉඳහිට හිසට වැටෙන උණු කඳුලක උණුසුමත් මට දැනේ. මා උකුල මත හොවා ගෙන ඇඬුම්බර සැනසුම් වදනක් තොල ගා සීතල අතැඟිලි වලින් හිසකේ පිරිමදිනවාට වඩා දෙයක් දැන් ඇයට කරන්නට නැත. නපුරු ළමයෙකුට බියවැදී අම්මාගේ චීත්තයේ දැවටෙන බියඟුලු කොලුවෙකු සේ මම ඇයගේ සෙවනේ දැවටී ගතිමි. තව දුරටත් ඇගේ මුදු දෙපා වල මිහිරක් මට නොදැනේ. මා නිසා මියයන මිනිසුන්ගේ මළගමේ අඳෝනාව මගේ පපුව දවා නංවා ගිනි දලු මස් මාංස ඇට නහර උණු කරමින් ඉහළට පැමිණ උගුරේ සිරවේ.

Thursday, December 1, 2016

නමුණුකුළු දුටිමි

වසර අටකට පෙර ලීයේ නම් නමුණුකුළ තරණයේ සියලු සිද්ධීන් සටහන් කිරීමට හැකි වනු ඇත.  ගමන් විස්තරයක් ලියන ලෙස බැස එන ගමනේදී නඩේ කවුරු හෝ ඉල්ලූ බව මතකය. එහෙත් කිසිම ලෙසකින් එය සිදු නොවුණි. ලියා පසුව කියවා රස විඳීමට තරම් වූ වැදගත් දේ එහි තිබුණි. කාලයේ වැස්සෙන් සේදී ගොස් ශේෂ වූ මතකය මෙසේ ලියා දමන්නෙමි.  නිදි ගත් මිහිරි මතක අවදි වීම සුමිහිරි හැඟීමකි. අර්ථවත් විඩාබර දිනයක් අවසානයේ සීතල දියෙන් ගත දොවා උණුසුම් පානයක් සමඟ හාන්සි පුටුවේ දිගා වූ කල එවන් හැඟීමකින් සිත පිනවීම තරම් භාග්‍යයක් තවත් ඇතිද.. ඒ භාග්‍යය මෙසේ වචන කිරීමට උත්සාහ ගනිමි.