Friday, November 4, 2016

විල්පත්තුව - රැජිනකගේ නිවහන

බ්‍රාහ්මණ යාමය මැද්දෑවකදි වගේ අපි කලා ඔය පන්නල නොච්චියාගම් පළාතට කිට්ටු කරා. නැගෙනහිර අහස අලංකාර දාලා ඉර දෙයියොන්ට ප්‍රශස්ති කියනව. නං නොදන්න හැංගිච්ච කුරුලු ගෙවිලිච්චියො ටිකක් ඒවට සංගීතෙ සපයනවා. විල්පත්තු හංදියෙන් අපි වාහනෙන් බැස්සෙ කැළෑ වදින්න හරියන වාහනේට මාරු වෙන්න.  අපි සේන්දු වෙච්ච වෙලාව තීන්දු කරගත්තු වෙලාවට වඩා කලින් උන හින්ද  ෆෝවීල් එක එනකං සුළුදිය ටිකක් ගහක් මුලට හලලා හංදියෙ පුල්ලෙයාර් දෙයියන්ගෙ මූනත් බලල බෝක්කුවක් උඩ වාඩිවෙලා පුත්තලං පැත්තෙ ඉදන් අනුරාධපුරේ ඉගිල්ලෙන වාහන බල බල හිටිය.  අලුයම හිත සීතල කරන අස්සෙ මට නම් මදිපාඩුවකට තිබුනෙ උණු තේ උගුරකුයි ටික කාලෙකට කලින් මේ වගේ පාන්දරක අනුරාධපුර පැත්තෙ පොඩි තේ කඩේකින් කාපු කිරි ආප්ප දෙක තුනකුයි.


එක් එක්කෙනාගෙ මූණු හරියට පේන්න එළිය වැටුණට පස්සෙ වාහනේ ආවා. කොහොමත් විල්පත්තු කැළෑ මායිමට එන කොට හත වත් වෙලා තියෙන්න ඇති. එතන වන ජීවී කාර්යාලෙ ගාව  අමරාවතී සමාධීයට නෑකම් කියන අව්ව වැස්ස එක්ක හොදටම හැලහැප්පිල තියෙන බුදු රූපයක් තියෙනවා. බුදුන් බැහැ දැකල වැදල අවසර අරගෙන අපි විල්පත්තු කැළෑ කුමාරි බලන්න ඇතුල් වුණා. මං මුලින් හිතාගෙන හිටියෙ විල්පත්තුව කියන්නෙ විල් දහයකින් පිරිච්ච බිමක්ය කියල. ඒත් විල් වලින් ගහන පළාතක් හෙවත් පත්තුවක් විල්පත්තුව උනයි කියල මට පිළිගන්න වුණා. ඉතිහාසය කැන්දන් ආපු වගේම මෑතකදි නම් දරාපු විල්, විල්ලු හා පොකුණු වලින් භූමිය පිරිලා තියෙනවා.

අපිව මුලින්ම පිළිගත්තෙ අපේ පාර අයිනෙම හිටපු උකුස්සෙක්. ඌ හිටියෙ ලේ පාට ගොදුරක් යන්තම් උගුරෙන් පහලට යවමින්.  නිලධාරියා කිව්ව විදියට නම මතක හැටියට කොණ්ඩ උකුස්සා.  ඊට පස්සෙ මුව රංචු පේන්න හිටියා. අඟෙක් හෙවත් අං ඇති මුවෙක් තනියම හිදිච්ච පොකුණක් ලඟ හිටියා. අන්තිමේ දි මම එච්චර ලොකු අඟෙක් දැක්කෙ හොරොව්පතාන පැත්තෙදි ඌ මුව දෙනක් සහේට ගන්න දත කද්දි. ටික දුරක් යද්දි වැලි මුවෙක් දකින්න හම්බුණා. වැලි මුවා කියන්නෙ මුවා වගේ පොඩි එකෙක්. මුවාගෙ හැඩෙයි රුවයි, ඊට පොඩියි, දුඹුරු පාටයි. ඕලු මුවා කියලත් කියනව. සිංහරාජෙ ලංකාගම පැත්තෙදි ඕලුවා වෙනවා. උගෙත් පොඩි එකා මීමින්නා. මිහින්තලේදි ඊයක් විදින්න වාගෙ දුවනව මං දැකලා තියෙනවා. හැමෝගෙම ලොකු අයියා ඒ කියන්නෙ මුව පවුලෙ මුදුනා තමයි ගෝනා.   මහ එළියෙදි තමයි මම නම් හොඳටම දැකලා තියෙන්නෙ.

වළි කුකුල්ලු හැම තැනම. සිංහලේ කුරුල්ලා. අසුරයො බල ගැන්නුනෙ සැවුල් ලකුණ වටේ. හොඳට පිල් විදාගත්තු මොණරයෙක් දකින්න නම් ටිකක් අමාරු වුණා.  නම් ගම් නොදන්න තව කුරුල්ලො එහෙට මෙහෙට පියෑඹුවා. ගස් වල වහල හිටියා. කොක්කු විල්ලු වල මාලුන්ට ඇහැගහන් හිටියා. කණ කොක්කු එක පෙළට තටු විහිදන් විල් අයිනෙ උදේ ඉර විඳ විඳ හිටියා. උකුස්සො වාහනේට ඉස්සරහින් ටික දුරක් පාර දිගේ පොළවට සමාන්තරව ඉගිල්ලිලා ගුවන් ගත වුණා. කිරල්ලු පාර අයිනෙ ඉඳලා ඈතට දුවගෙන ගියා.  උඳුවප් ගෙවලා දුරුත්ත ලබද්දිනම් මේ පොළව කුරුලු පාරාදීසයක් වෙනව ඇති.

 දහය එකොළහ වෙද්දි කිලෝමීටර හැටක් විතර ගෙවලා අපි ඔච්චප්පුකල්ලුවට ලං වුණා. ගමන එච්චර ලේසි වුණේ නෑ. මගදි හුළඟ හරි අලි හරි අරියාදුවට පාරට පෙරලපු ගස් කපල අයින් කරන්න අපට සිද්ද වුණා. ඇළ පාරක් මැද්දෙන් යද්දි එක තැන රෝද කැරකුණ වාහනේ ගොඩ ගන්න තල්ලු දාන්න වුණා. ගැඹුරට බොකු ගැහිලා තිබුණ කදු පල්ලම් වල වාහනේ නොවද්ද ගන්න පාර මැදට ලී කොට දාන්න වුණා. පාර අයිනෙ නවත්තගෙන තලගොයින්ගෙ පින්තූර ඇල්ලුව සුදු සත්තු වගයක් පාර අවහිර කරපු වෙලාවලුත් තිබුණා.

ඔච්චප්පුකල්ලු කියන්නෙ එහෙම පිටින්ම නටබුන් ගොඩක්. ලංකාවෙ හතර දිබ්බාගෙකම වගේම විල්පත්තුව මැද්දෑවෙත් ගලින් කරපු රාජධානියක, ආරාම සංකීර්ණයක හෙවනැලි කැළෑ වැදිලා තියෙනවා. ගරා වැටිච්ච ලෙන්, මැකිල යන ලෙන් සිතුවම්, හාරපු වෙහෙර බිම්, තැන තැන වැටුණ මුර ගල්, ගෙවුණ පියගැටපේලී, යන්තම් ඉතුරු වුණ ගලේ කොටපු සිංහල අකුරු, ගල් තලා වල හාරපු පොකුණු, කැටයම් කරපු ගල් කණු ලේ වලට එකතු කරේ කේසර සිංහයෙක්ගෙ ජවයක්. මේ බලල යන්න තියෙන නිකංම නිකං නටබුන් ගොඩක් නෙවෙයි. අපේ උරුමය. කාලෙකට ඉස්සර විල්පත්තුව මහ හිමේ රැකගෙන මෙහේම රාජධානි කරවපු අපේ මුත්තන්ගෙ ගලින් වාත්තු කරපු ප්‍රෞඩ ජීවිතය.  මෙහෙම් ජාතියක පුරුක් වෙච්ච අපි අද මේවා සුද්දොන්ට පෙන්නල උන් දෙන සොච්චමක් අතේ ගුලි කරගෙන යංතං බඩ රැක ගන්න දීනයො වෙලා ඉවරයි. හරිනම් ඔය රාජධානි කරවපු උන් වළෙන් නැගිටල ඔය ගල්වලින්ම ගහල අපිව මරන්න ඕන මේ කරන අපරාදෙට.

අපි ඊළඟට නතර වුනේ කාලි විල කිට්ටුව.  කාලි කියන්නෙ යක් කුලේ සිංහල ගෑනුන්ට පොදුවෙ කියපු නමක්. ඒ ඇරෙන්න පත්ති හෑල්ලෙ වගේ තැන්වල කාලි නමින් හඳුන්වපු ස්ත්‍රීන් පේන්න ඉන්නව. විලක් කිව්වට විල කිව්වාම හිතට දැනෙන ප්‍රමාණයට කොහෙත්ම ගැළපෙන් නැති පරිමාවක් තමයි කාලි විල අයිති කරගෙන තිබුණෙ. වතුර දෙපයෙ ගෑවෙද්දි දියේ එබෙන්න ආපු ආසාව පාලනය කරගන්න වුණේ එන මගදි විල් වල දැකපු කිඹුල්ලු මතක් වුණ නිසා. විල් තෙරේ සුදු හීන් වැල්ලෙ වාඩි අරගෙන විල් තට්ටුවෙ හීන් රළ පාරකුත් හදාගෙන විලේ විස්තර බැද්දට කියන්න දුවන හීතල කා වැදිච්ච හුළං රැළි වලට ඇගේ එතෙන්න ඔහේ ඉඩදුන්නෙ ඒ සොබාව හුස්ම නවතින දවස එනකන්ම හිතින් විඳින්න පාඩම් කර ගන්න ඕන උන නිසා. කාලි විල් අසබඩ යෝධ ගල්කණු වලින් ගොඩනගපු යෝධ ගොඩනැගිල්ලක යෝධ නටබුන් ඉතුරු වෙලා තියෙනවා. ජන කතන්දර වලට අනුව කුවෙණි දේවියගේ මාළිඟාව.  හැම තැනම රජ මාළිඟා දකිද්දි  විල්පත්තු පොළවෙ රැජිනකගෙ මාළිඟාවක්.  බය, තේජස, ගෞරවය මුසු වෙච්ච ආදරණිය සංවේදනාවක් අපේ මිත්තණිය වෙනුවෙන් හිතේ ඇතිවුණෙ හිතේ තිබිච්ච සතුට ටිකක් එහාට මෙහාට කරල. මේක ලියන වෙලාවෙදි තමයි මතක් වුණේ තවත් රැජිනකගෙ මාළිඟයක් ගැන. ගුරුලු පොත මන්දෝදරී මාළිඟාව ගැන. රාවනගෙ ආදරණිය බිරින්දෑ ගෙ මාළිගය.

වෙහෙර, ලෙන්, මාළිඟා, විල් ගැන ලියද්දි ඒව වටකරගත්තු ඝන කැළෑවෙ සුන්දර කතාව ලියන්න හිත පොර කනවා. එක තැනක විදිය නෙවෙයි තව තැනක. තැනක ගමක් කිට්ටුව ලඳු කැළෑවක්. තැනක ඝන රූස්ස කැළෑවක්. තැනක සිත් පහන් කරන පින්බර භික්ෂු අරමක විදියක්. තැනක් වැලි කඳු ගැහිච්ච වැලි කතරක්. තැනක තණ බිමක්. තැනක වගුරක්. ඇළට හැදිලා තිබුණ මහා ගහක් උඩින් ගහ බදාගෙන ගියපු වැලක රූපය මං දැක්කෙ හැඩි දැඩි තාත්තෙක්ව බදාගත්තු කැළේ සත්තුන්ට බයවෙච්ච පුංචි දුවක් වගේ. පොඩි පොඩි ගස් පඳුරු මැද්දෙ විසාලෙට හැදිච්ච රූස්ස යෝධයොන්ව මට මතක් කරේ කලු වදුරු රැලක මුදුනව. ඉර බස්නාහිර ඉඹිනකොට වැව් කටේ සෙල්ලම් කරන්න එන අලි රංචු දකින්න අපි එදා පින් කරල තිබුණෙ නෑ. බලන්න ආසවෙන් හිටපු කොටියා දකින්නත් බැරුව ගියා. වලහෙක් නම් ඇවිත් පොඩ්ඩක් කතාබහ කරල ගියා. මේ පොසොන් කාලේ  වීර, පලු, තිඹිරි ගස් රතු, කහ, තැඹිලි පාටවලින් පිරිලා. වලස්සුන්ට රජ මගුල් ඇති. කාලිවිල කිට්ටුවදි යන්තම් වීර පොදියක රහ බැලුවා. තැනක ඇහැල යායට පිපිලා. තව නම් නොදන්න මල් වර්ග කැළෑව පාට කරන්නෙ පොඩි එකෙක් ගේ බිත්ති පුරා පාට ගාන්න වගේ. කැළේ මෙහෙම වාහනේක ඇවිත් හරියන්නෙ නෑ. කැළේ ඇඟට යා වෙන්න ඕනෙ. මං විශ්වාස කරන්නෙ නම් මේ භූත පරිසරේ මාව තිරිහං කරනව කියලයි. ඇයි මේක එහෙම පිටින්ම බෙහෙත් යායක්. කැළෑ සුවද වැදුනත් සනීපයි. වැස්සකට කැළෑවෙ තෙමුණොත් ඒක බෙහෙත් ඔරුවක නිදි කෙරෙව්ව වගේ වෙයි. අපව කොන්ක්‍රීට් කරන්න හදන ගෙරි හැත්තට කැළෑවක රහක් නෑ. කට වහරට කියන්නෙ ඉරුං කන්න බැරි එකා මිනිහෙක්ද කියලයි. ඒත් මං අහන්නෙ ගහක් මලක් විදින්න දන්නෙ නැති එකා මිනිහෙක්ද කියලයි.

පහ හය කිට්ටු වෙද්දි සවාරිය ඉවරයි. ඕලුවෙක් පාරෙන් පැනලා දිව්වා. විල්පත්තුවටයි මේ පලාතෙ රජ කරපු අපේ වුන්ටයි හැම දෙයියගෙම බැල්ම ආරක්ෂාව ප්‍රාර්ථනා කරල කැළේට කෙලවන පර හැතිකරේට හොදම සිංහලෙන් දෝස්මුරයක් තියල කරපු පිනක් තියේ නම් කැළේ රැකියං කියල දන්න දහමට හිතින් වැඳලා අපි එලියට ආවා.