Tuesday, November 15, 2016

ඒ මහ එළිය... හෝර්ටන්ගෙ මුකුත් එහෙ නෑ

හෝර්ටන් තැන්න.. නෑ ඒ මහ එළිය.  අමුතුවෙන් පරයෙක් ඇවිත් හොයාගන්න දෙයක් එතන තිබුනෙ නෑ. අවුරුදු දාස් ගානකට කලින් අපේ උන් එහෙ වී වැවුවා. ගුවන් යානා ගොඩබැස්සුවා. කිරිගල්පොත්ත වත් තොටුපළ වත් අමුතුවෙන් අපට හොයල දෙන්න දෙයක් තිබුනෙ නෑ. ගෝන ඇල්ල ගැන අපට අමුතුවෙන් කියන්න ඕන නෑ. විනෝදෙට කියල සත්තු පස්සෙ පන්න පන්න වෙඩි තියපු වරෙව් ලංකාවට මෙහෙ සත්තු මරන්න සුපිරියි කියල  සුද්දොන්ට ආරාධනා කරපු බේකර්ස් වගේ පර බල්ලන්ගෙ නමින් දියඇළි, කඳුරු නම් කරාට අපේ මිනිස්සු ඕවයෙ බඩ ගෑවෙ සහස්‍ර ගානකට කලින්. රට රකින්න කඳු රකින්න ඕන කියල නීති කෙටුම්පත් කරේ සහස්‍ර ගානකට කලින්... වරිගෙ පුරාජේරු නවත්තල දැන් ලියන්නෙ අපි මහඑළිය බඩ ගාපු හැටියි. ඒ මීට අවුරුදු පහකට හයකට විතර මතකයක්. මෝඩ තකතීරු ගොබ්බ වැඩ වැඩියෙන් කරපු කැම්පස් කාලෙ, යාලුවො දහයක් දොළහක් එක්ක ගියපු ගමනක්. හිත පුරාවටම දැනුන ආදර ලස්සන ඇරෙන්න සිද්ධි සේරම නම් ලොකුවට මතක නෑ.


අපි කන්ද පාමුල ඔහියට එනකොට ඉර නැගල මීදුමත් එහා මෙහා වෙලා තිබුණෙ. ඈත ලස්සන බල බල ඕප කෙළ කෙළ සීතල තුරුල් කරගෙන කකුල් වල හයියෙන් කන්ද නගින්න හිතන් හිටියත් අන්තිමේදි කුකුළ් පැටියෙක් වගේ වාහනේක චප්ප වෙලා තැන්නට එන්න උනා. තැන්නෙ මායාව හැට හතර මායම් වලට පැරදුනේ නෑ. ලස්සන ගෑනියෙක් හිත වශී කරගන්න පරක්කුවෙන් මහ එළිය හිත ගත සේරම මංමුළා කරා. මීදුම අස්සෙන් පොළවට බහින්න දගලන ඉර එළිය, ඈත තණ ඉඹින කැරලි ගැහිච්ච මීදුම් වළාව, තොරතෝංචියක් නැතුව ඇඟ බදාගන්න සීතල අස්සෙන්ම අපි මුලින්ම ගියේ කිරිගල්පොත්ත පැත්තට.  කුරු ගස් අස්සෙන් තණ දෙබෑ කරගෙන මඩ වළවල් වල එරීගෙන කඩන් වැටුන ගස් උඩින් පැනගෙන පොදට තෙමීගෙන මාලිමාවකින් වනජීවි එකෙන් පෙන්නපු පැත්ත බල බල අපි රෑට හඳ එළිය වටුනාම කිරි පාටට චන්ද කාන්ති පාශානය වගෙ දිලිසෙනවයි කියන ගල් පොත්තක් තියෙන කිරිගල් පොත්ත හොයන් ගියා. හැම කොළෙකමයි හැම මලකමයි බිම් මලකමයි ඇහැට දකින බත් කූරගෙයි මකුළුවගෙයි ඉඳල හැම සතාගෙමයි පින්තූර අල්ලන අපෙ පොටෝග්‍රැෆර් හින්ද ගමන් ගොඩක් ඉක්මන් වුණා. හැබැයි ඉතින් ඉක්මනට  කන්ද නගින්න ආසාව තිබුණට කැලේ ඇතුලෙ ගාටන එක අමුතුම කතා පොතක්.  තණ ගොල්ලක් දිගේ ටිකක් දුර යනකොට පොඩි වන වඳුලක්. කකුල් ගල් කරන සීතල, බර දිය කඳුරක්. සිතිජ ඉමේ අහසෙ පාවෙන කඳු මුදුන්. නිල්ල පිරිච්ච තලාවන්. පොළවට කඩන් වැටෙන්න බලං ඉන්න වැහි වළාව. අව්ව වැස්ස එකතු වෙලා පරිසරේ පාට කරපු මායම් පාට වළල්ල. කොහොම වුණත් කන්ද නැග්ගෙ පොඩි බයකුත් එක්ක. එකක් දකුණු පය ලිස්සුවොත් ගල් පොත්තෙ පහළටම රූටන්න වෙන එක. දෙක සැරින් සැරේ අපිව වහගත්තු වලාකුළු ටික. පාර නොපෙනෙන සමහර තැන් වලදි අපි කිරි වළාකුළු අස්සෙ හිරවෙලා හිටිය. කෝමින් කෝම හරි අන්තිමේදි ලංකාවෙ දෙවැනියට උසම  කියන කන්දෙ මුදුනටම නැග ගත්තා.

හැතැක්ම පහක් හයක් ගෙවල ආපහු ආපු නඩේ ඊළග වැඩේ වුණේ කූඩාරම ගහගන්න එක. නම දන්න විදියට බෙළිහුල් ඔය ඉව්රෙයි නවාතැන් ගන්න අවසර ලැබිල තිබුනෙ. අර චිමිනි පූල් ද මොකක්ද කියන එක ලඟ.  දොළ පාරක ගල් අස්සෙ වතුර ගලන සද්දෙ වක්කඩක හීනියට වතුර ගලන සද්දෙ ලතාවට සෙල්ලම් පෙන්න පෙන්න ගලන බෙලිහුල් ඔය පාරෙ සද්දෙ හිත භාවනාවකට ඇරලන්න දස්ස දේවල්. කූඩාරම ගහන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. අපි ඊට පස්සෙ යන්න පිටත් වුනේ ලෝකාන්තෙ පැත්තට. කොච්චර ඇවිද්දත් බලල ඉවර කරන්න බැරි මොහොතින් මොහොත් වෙනස් වෙන ලස්සන මගේ හිත ගත්තෙ මගේ හිතත් ඒ තරම්ම ඉක්මනට වෙනස් වෙන හින්දද මන්ද. අපි ඇවිද්ද. බිම දිගාවෙල දිය පාරවල් වලින් වතුර බිව්ව. පොඩි කඳු ගැට උඩට හුළගත් එක්ක තරගෙට දිව්ව. ඇස් කොනෙන් දිවියො ඉන්නවද කියල බැලුව. ඇස් පිල්ලම් නොගහ ගෝන්නු දිහා බලන් හිටිය. කැලේට ආදෙරේ කරන මිනිස්සු ගැන කතා කරා. කැලේට පතනට කන්දට උල්පතට පාරන බල්ලන්ගෙ ජාතකේටම අම්මමුත්ත මතක් කර කර බැන්න. ගෝන ඇල්ලෙ පිනි කකා ඇල්ලෙන් වැටෙන වතුර පාරෙ රහ බැලුව. කැලේට එන්න කැලේට හරියන විදියට තේරෙන්න කිවුවොත් වැද්දෙක් වගේ සමහරක් විට සතෙක් වගේ. මිනිස්සුන්ගෙ මොලේ කියන්නෙ කැලේට පිළිකාවක්. අඩියෙන් අඩිය තව කොච්චර දුර යන්න ඕනද කියල අහන ඩෙක්ස් දාගෙන හැට්ස් දාගෙන සඟ දාගෙන ඇබ දෙක කනේ ගහගෙන මවාගත්තු සුරංගනා ලෝකවල පාවෙන ෆන් ගන්න වීක් එන්ඩ් එකේ හෝර්ටන් ප්ලේන්ස් ගිහින් සෙල්ෆියක් අරන් එෆ් බී දාන උන්ට මේ ප්‍රකෘති සොබාව දැනෙනවද කියල මට හැමදාම ප්‍රශ්නයක්. ස්වභාවය නහන එකාට ඒකෙන් ඈත් වෙන එකාට ස්වභාවයෙ තියෙන සොබාව වත් ඇත්ත වත් කවදාවත් වටහා ගන්නවත් විඳින්නවත් බෑ. මට නම් පතනෙ තියෙන ලස්සනත් එක්ක ලෝකාන්තෙ, පතනෙ කෙළවර කියන්නෙ බලන්න තරම් දෙයක් නෙවෙයි.  ලෝකාන්තෙ තව ටිකක් ඈත් වුනානම් හොදයි කියල හිතුණ. එදා ලෝකාන්තෙ මීදුමින් වැහිල. මං පොඩි දවස් වල අම්මල ලොකු අම්මල කට්ටිය එක්ක ඇවිත් තියෙනව. එදත් එහෙම්මමයි. ලෝකන්තයෙන් පහළ බෑවුමේ ලස්සන බලන්න පින් කරලම නෑ. ගොඩක් විට එතන ඉඳන් මුලු දකුණම පේන්න ඕන කූරගලදි වගේම. මහියන්ගනේ වංක ගිරිය හරියෙ ඉඳන් මුළු නැගෙනහිරම පේනව. ලිප්ටන් කියන පරයගෙ සීට් එක කියල කියන දියතාලාව දඹතැන්න කන්දෙ ඉඳන් මුළු දකුණු ගිණිකොණ දිගම පේනවා. කඩුගන්නාව ගලිනුත් මුළු යායක්ම පේනව. අමාරුවෙන් උඩට නැගල උඩ බින්න බහින් නැතුව බිමට බහින්න හිතන් බිම බලද්දි දැනෙන ලස්සන හැමදාම උඩ අල්ලන් දඟලන ගොඩ පක්කුන්ට පේනවනම් මේ ලිපියෙ සමහර කැත වචන අයින් වෙල ලස්සන වෙන්න ඉඩ තිබුණා.

අපි ලෝකාන්තෙත් බලල හැරෙද්දි තැන්නෙ කලුවර රජ කරන්න පටන් අරන් හිත් ඇතුලටත් කලුවර වැටෙන්න පටන් අරන් තිබුණ. පාර වැරදෙයිද. දිවියො පනීද. සීතලට ගල් ගැහැයිද. කෝම හරි ඒ බියකරු හීනය දිගේ එනකොට අපේ කූඩාරමේ ඇවිදින්න නොගිය උන් පත්තු කරල තිබුණ එලියට ඇහැ ඇරුණා. පොඩි කූඩාරමක් ඇතුලෙ දහයක් දොලහක් විතර. මගෙ උපාධිය කියන මඟුල ගොඩ දාන්න මහන්සි වෙච්ච කට්ට කෑව මගෙන් බැනුම් අහ අහා මටම හොඳ කරපු මට ජීවිතේදි හම්බුණ කට පුරා සැකක් නැතුව හොඳම යාලුවො කියන්න පුලුවන් මනුස්සකම තියෙන මිනිස්සු ටිකක් එක්ක රස කතා ගොඩකුත් එක්ක නින්දට ගියා. ඒත් පට්ට සංවර්ධනයක් තියෙන කොළඹ කියන ජරා ගොඩේ ලැඟලා ඉඳල හදිසියේම නොදියුණු මහ එළිය කියන දිව්‍ය ලෝකෙට අඩිය තියපු මට එච්චර ඉක්මනට ආගන්තුක සත්කාර වලින් අත් මිඳෙන්න පුලුවන් වුනේ නෑ. ඉන් එහාට පටන් ගත්තෙ සුන්දර හීනයක්. රමණීය රමණයක්. සුරම්‍ය තරංගණියක් මගේ සුරතින් ඇදගෙන තරු එළියට දිස්නෙ ගහන තැන්නෙ දොළ පාරවල් දිගේ උල්පත් හොයගෙන දුවනවා අමරණීය දිය දහරකින් පිපාසය නිවාගන්න. උල්පත් ගොඩක් අයට පේන්නෙ නෑ.  ටිකෙන් ටික දොළ පාර පොඩි වෙනවා. මගේ සිත ඉපිලෙනව සංතෝසෙන්.  මගේ දකුණු කනට සිහින් සරයක් කියනව 'බලන්න මීදුම ගොතාපු තණ අග පිනි බිංඳු දොළ පාරවල් මවන ලස්සන. ඒ දොළ පාර ඈතට ගිහින් මුළු ලෝකයක් මවන ලස්සන'. ඈ අතැඟිල්ලට ගත්තු හීන් පිනි බිදුවක් මගේ කම්මුලේ තවරනව. මට පේනවා ඒ පිනි බිදුව ඈතට ගිහිල්ල මවපු ලෝකයෙන් බිහි වෙච්ච නොමිනිස්සු ටිකක් ලෝකෙම විනාස කරගෙන දියපාර දිගේ ඒකත් විනාස කරගෙන පිනි බින්දුව හොයන් එනව. 'මේ හැතිකරේ අපිව නසනව'. මගේ මර හඩට මගේ හදවතේ රඟ විදිමින් හිටපු තරු දෙව් කොමළි බය වෙලා ඈතට යනවා. මගේ ආදරේට කණ කොකා හඬනවා. ඒත් එක්කම මහ හෙණයක් පුපුරල මාව නින්දෙන් නැගිට්ටනව.

එදා රෑ මහඑළිය දෙදරන්න වැස්සා. පුදුම අකුණු ගැහිල්ලක්.  අපි හිටපු  අහළ පහළක කුරු ගහක් වත් තිබුනෙ නෑ. දැන් දැන් අකුණක් පහත් වෙයි කියල ගැහි ගැහී ඉන්න කොට කූඩාරම ඇතුළට වැස්ස පටන් ගත්තා. කට්ටිය ටිකක් කලබල වෙලා හිටියෙ. ටික දෙනෙක් වනජීවී කාර්යාලෙ පැත්තට ගියා. අඳුරු වළාවක ගිනි පාට අකුණක් වගේ වදකාරී හැඟීම් පොදියක් අස්සෙන් සියුම් රසයක් හිතේ පායල තිබුණ.  මට ටික වෙලාවකින් වතුර ගොඩේම නින්ද ගිහින්. ඔය තව ටිකක් උඩට ඉස්සිල තිබුනනම් සමණළ වැව පැත්තෙන් පහුවදා අවදි වෙන්නත් පුලුවන් කම තිබිල තියෙන බව දැක්කෙ උදේ නැගිට්ටට පස්සෙ. පාන්දර කැන්දන් එන මනාලිගෙ ලස්සන බලන්න තියෙන පෙරේත කමට හීතලෙන් ගැහි ගැහී නැගිටින්න මට සිද්ද වුණා. හිතේ තියෙන සතුට පරද්දල හිත ගල් කරන්න ඒ සීතලට බැරි බව මං අත්දැකීමෙන්ම දැනගෙන හිටිය. තැන්න හිතට ගෙනැරලපු නිදහස මහා සුවපන් සැප වේදනාවක්.  අපි කූඩාරම ගලවල ඉවර වෙද්දිත් ගනකම් දුමාරය එහෙම්මමයි.

අපට ඉන්න පුලුවන් කම තිබුනෙ එක රැයයි. දෙවනි දවසෙ අව්ව වැටෙනකන් මහ එළියෙ රහස් වලට ඇස් කන් දීපු අපි පෙරළා එන්න පිටත්  වුණා. ඒත් ගමන ඉවර නෑ. ඊලගට තොටුපල කන්ද නැග්ගා. ඇත්තටම කිව්වොත් නැග්ගෙ නෑ තරගෙට කන්දෙ දිව්වා. විනාඩි දහයකින් පහළොවකින් මුදුනෙ. අපි මහඑළියෙ ඉදන් පට්ටිපොළට පල්ලං බැස්සෙ පොඩි වේදනාවකුත් කරපින්නං. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවනම් ඒ පල්ලමට පස්සෙ ආපහු කන්දකුත් තියෙනව. දුක සැප කැරකෙනව. සමහර තැනක තණ බිම අස්සෙන් එකදිගට පාර සිතිජයට යනකන්ම. ඒ අතර මැද්දෑවකදි එකම තැනකදි කිරිගල්පොත්තයි, තොටුපළයි, සමණළ කන්දයි පේන්න තියෙනව. සමණළ ගිරට දොහොත් මුදුන් දීලා ආයෙ අපි අපේ ගමන යනව. පටිටිපොළින් ඒ සවාරිය ඉවරයි. ගමන් මහන්සිය නිසයි බස් නැතිවීම නිසයි කොළඹට එන්න පට්ට කට්ටක් කෑවා. දවසක් දෙකක් තුනක් යනකන් ඇඟ පත කකියනව. ඒ දවස පහුවෙලා අදට අවුරුදු හයක් විතර වෙනව. මහ එළිය නැගපු, වැස්සෙ දිය බත් වෙච්ච දුක මහන්සිය අද නෑ. ඒත් එදා දැනුන සතුට අද මතක් වෙනකොටත් හිත පිනුම් ගහනව. සතුට හත් පොළේ ගාගන්නව.

මහ එළියට යනව කියන්නෙ නිකන්ම නිකං සානුවකට, ලෝකාන්තෙට යනව කියන එක නෙවෙයි. අපිව ජීවත් කරවන පතාක යෝදයෙක්ගෙ දෙපතුල් වදින්න යනව කියන එකට.  මගේ සංස්කෘතියෙ කියන්නෙ ජීවය දෙන ඉරට වැඳපං කියලා. බත් ටික දෙන කුඹුරට වැඳහං කියල. තොට ජීවත් වෙන්න සාරය උරා ගන්න ගහට කොළට සතා සීපාවට කන්දට ගඟට වැඳපං කියල. එහෙම නැතුව මේ පොළොවට කෙළින පර සුදු යුදෙව් අරාබි ඉන්දියන් පරයින්ට ඔලුව පාත් කරගෙන ඉන්න නෙවෙයි. ඒ හැත්ත බුරුත්තගෙ අපත නම් වලින් අපේ මිනිස්සු රැකපු පතනටයි කන්දටයි දිය ඇල්ලටයි නම් දාන්න නෙවෙයි.  පින් අයිති වෙයි මහ එළිය පැත්තෙ කරක් ගහනවනම් එළිය අඳුරු කරන හැම බඩකඩිත්තුවක්ම ලෝකාන්තෙන් පහළට තල්ලු කරල දාපං.