Friday, November 4, 2016

යහන්ගල අලි පුර

යහන්ගල ගමන කියන්නෙ මට තවත් අමරණීය මතකයක් ගොඩනගපු සංචාරයක්. නිදහස් ගමනකින් මන් බලාපොරොත්තු වෙනවට වඩා සිය ගුණේක අත්දැකීම් ලබා දීපු ගමනක්. මිහිපිට අපායකුයි දිව්‍ය ලෝකයකුයි අතරෙ දෙදවසක් ගතකරා කිව්වොත් වැරදි නෑ. කඳු නගින්න ආවට ඒක හිතේ හයියට හිතුවක්කාරකමට මෝඩකට ආපු ගමනක්. ඒ වැහි කාලයක්. කන්දට හෙවත් මහ නුවරට ලං වෙන කොට වැස්ස දොඹෙන් දෙනව.  මහියන්ගනේ දහඅට වංගුව පටන් ගන්න තැනින් බස් එකෙන් බහිද්දිත් වැහි වලාව එහෙම්මමයි. එතනින් පස්සෙ අපි ඇතුල් වෙන්නෙ අපායෙ දඩයම් බල්ලො පිරිච්ච ගමකට. නම දන් නැති අපි තිස්පහේ ගම කියල නම් තිබ්බ ගමකට. දවස ඉවර වෙන්නෙ යහන්ගල පාර වැරදිලා, හසලක ගඟ දෙගොඩ තලා ගිහින් කන්දට එතෙර වෙන්න තැනැක් නැතුව, දෙතැනක ගහපු කූඩාරම දෙසැරෙම ගලව ගලව, කලව වෙනකන්ම දෙපයෙ පිරිච්ච කූඩැල්ලොන්ගෙන් ගලන ලේ ගඳ උහුලගෙන පොලිස් ජිප් එකෙ යන සිංදුවලට තාලෙට කූඩාරම් බෑග් එකට තට්ටු කර කර උඩුදුම්බර පොලිස් නවාතැන්පලේ දී වැදි බණ අහ අහ කූරු ගනිනවත් එක්ක. යන්තන් පාන්දර නින්දගියායින් සංචාරයෙ පළවෙනි දවස අහවර වුණා. ඇත්තෙන්ම මම අපායක් කියලා අදහස් කරේ අඩියක් අඩියක් ගානේ පයේ එල්ලෙන කූඩැල්ලොයි උන් වගේ මිනිස්සුයි පිරිච්ච තිස්පහේ ගම මිසක් පොලීසිය නෙවෙයි.  ඒ වුනත් හිඟුරු රහ මර මර ඈතින් පේන යහංගල කදු පන්තියෙ රූ බල බල  ඇල පාරක් ගාව වැහි පොදක බත් කටක් කාලා කුලප්පු වෙච්ච හසලක ගඟ බලද්දි මිහිරක් දැනුනෙ නැත්තෙම නෑ. ඒත් යම පල්ලො ටිකක් එක්ක හැප්පෙන්න වුණ හින්ද ගමම අපායක් වුණා. දෙවනි දවසෙ දිවිය ලෝකෙට ආපු නිසා ආයෙ අපායෙ කතන්දර ඕන නෑ.    

අපි දෙවැනි දවස පටන් ගත්තෙ උඩුදුම්බරින් උදේ පරිප්පුයි පොල් සම්බලුයි එක්ක පොලිස් බත් එක එහෙම කාලා ජාතකේ පොත් වල ලියල අත්සන් කරල දීලම තමයි. වැඩ ඉවර වෙද්දි දහය එකොලහ වෙලා. එතැනින් මහියංගනේ බස් එකක නැගපු අපි හසලකට ආවා. දහඅට වංගුවෙදි බඩ කැලැත්තිල පොලිස් බත එලියට ආව. කොහොම හරි නහයෙන් කටින් ආපු වමනෙ පීද පීද හසලක පොලිසියටත් ගොඩ වෙලා ගමන ගැන කියල හසලක වස්ගමුව පාරෙ බස් එකක නැගල හසලක  වැවෙයි උල්පත්ගම වැවෙයි තව නොදන්න වැව් වල සිරි බල බල ඇවිත් උඩවෙලින් බැහැ ගත්තා.  එතනින් අපිට යන්න ඕනෙ උනේ මැදවත්ත කැළේට. යහන්ගලට යන්න පාර වැටිල තිබුනෙ ඒ කැළේ ගම මැදින්. අනික් ප්‍රසිද්ධ පාර තමයි කලුගල පැත්තෙන් නගින එක. මුල් දවසෙ අපි නගින්න හැදුවෙ ඔය ප්‍රධාන පාර දෙක අතරෙ තියෙන පාරකින් අර තිස්පහේ ගම මැදින්. උඩවෙල ඉදන් මැදකැලේට අපි පයින් එන්න හැදුවෙ මොකද කෙනෙක් කිව්ව විදියට ඒක හැතැක්ම හතර පහක ගමනක් නිසා.  ඒත් අප්පුඩියක් අපේ ගමන වැළැක්කුවා.

"ළමයි කොහෙද යන්නෙ ?"
"යහන්ගල" එකෙක් ගමනාන්තයම කිව්වා. "මැද කැළේට ගිහින් යනවා."
"ගොඩක් දුරයිනෙ. පයින්ද යන්න හැදුවෙ." මට තේරුනේ ආයෙත් වැඩ වැරදිලා වගේ කියල. "අර ගොල්ල ඉන්නෙත් මැද කැළේට යන්න. තව ටිකකින් බස් එකක් එනව."
අපි එතන හිටපු නඩේ ගාවට කිට්ටු කරා.
"යහන්ගල යන්නද?" සිරියාවන්ත කඩහඩක් සිනාමුසු මුහුනෙන් ඇහුවා.
"ඔව්" අමාරුවෙන් හිනා වෙල අපි උත්තර බැන්දා.
"අලි ඉන්නවනෙ කොහොමද යන්නෙ. මේ වැස්ස අස්සෙ කොහොම යනවද". කතාවෙන් කතාව අපි බස් එකේ නැගල ආවා. අහන කින හැම කෙනාම කතා කරේ අලි ගැන. ඊයෙ පොලිසියෙදි කිව්වෙ අපි කූඩාරම් ගැහුවෙ අලි මංකඩක කියල.
බස් එක ආවෙ හද්ද පිටිසරට. මන් දකින්න ආසම පැත්තකට. ඒ කන්දක තියෙන අද්භූත ලස්සන දකින්න හිත නලියනවා. වැස්සෙන් නැටවෙන ගහ කොල ඇස් නටවනව.

බස් එකෙන් බැස්ස අපට ඉස්කෝලෙ ඇරිල ගෙදර යන පොඩි උන් ටිකක් හම්බුනා. උන් යන්නෙත් මැද කැළේට. විශ්වාස කරපල්ල උන් ඉස්කෝලෙ ඉදල ගෙදර යන්න හැතැක්ම හතරක් විතර දුර පාරක් දිගේ කන්දක් නගිනවා. ඒක තමයි දිව්‍ය ලෝකෙට යන පාර. මන් උන් පවු කියන්න කට ඉස්සර කරගන්නෙ නෑ. සුද්දො හිංහලයින්ට ඉගැන්නුව ඔය ජීවිතේ දුකයි කියල. නෑ. ඒකෙ තියෙන ආදීනව වටහ ගත්තු එකෙක් කවදාවත් ඒකට දුකයි කියන්නෙ නෑ. ඒක තමයි සාමාන්‍ය ජීවිතය. ඔය කෙලි කොල්ලන්ට ටවුමෙ වගේ අමුතුවෙන් ජොගින් යන්න ඕන නෑ. තියෙන්නෙ ඉස්තරම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්.  ටවුමෙ තියෙන විස දුම් නෑ. සොබා ධර්මයෙ තියෙන ඉස්තරම්ම හුලං ටික පෙනහලු වල තියෙනව. ව්ඳින්න උගන්නල තියෙනවනම් හැගීමක් තියෙනවනං මේ කන්දෙ  සොබාවට වඩා ඇස් පිනවන කාන්තීන් වෙන කොහෙන්ද.  වැහි මීදුමත් එක්ක කන්දෙ මුදුන පොළවට සම්බන්ධ නැතිවයි පේන්නෙ. අහසෙ දි‍ව්‍ය විමාන ගැන තව මොන කතන්දරද ඇස් පනාපිට තියෙද්දි. දිය පාරවල් ඇලි මවනව. කන්දෙ මැද්දක් යද්දි යන්තම් මීදුම එහා මෙහා වෙද්දි ඈත පොළවෙ පේන මිටියාවත්, දෙවි විමන් වෙච්ච අනික් කඳු පන්ති, නිල ගහපු ගොයම්, වැව් ජල තලා ඇඟේ ලේ ටික පිරිසිදු කරන්නෙ කිසිම ලෝභ කමක් නැතුව. කැළයක් මැදින් යද්දි මගේ ලෝකෙ මැදින් යද්දි හැමදාම වගේ ඇගට දැනෙන නිවන අදහන්නත් බැරි තරම්. මුල් දවසෙ යමපල්ලොයි පොලිසියයි එක්ක හැප්පිලා නිදහස් නින්දක් නැතුව දහඅට වංගුවෙදි බඩේ පපුවෙ දැවිල්ල හදාගත්තු හැම වස වේදනාවකින්ම හිත මුදොව ගන්න මේ ලස්සනට පුලුවන් වුනා. කොහොමත් කැඩිල සේදිල ගිහින් තිබුන පාර දිගේ පොඩි උන් ටිකත් එක්ක උඩට නගින එක මහ අමරුවක් වුන් නැහැ. කලින් මේ විදියට මිනිස් අඩවියෙන් වෙන්වෙච්ච ගමක් මන් දැක්කෙ මාවනැල්ලෙ රහල ගල. ඒක මෙච්චර දුරස් නෑ සැලව කියන ලඟම ගමට. ඒ අතින් ගත්තහම මැදවත්ත කැළේ එහෙම පිටින්ම මගේ හිතේ නවාතැන්ගත්තා. මේ කන්ද දිව්‍ය ලෝකයක් කියල මන් කිව්වෙ මේක සිරිය නිසාම විතකක් නෙවෙයි. මට තේරුනු විදියට ටිකක් වීරිය කරොත් ඕන නම් කලාතුරකින් ඇරෙන්න කදු පාමුල ගච්චන්න ගම්මුන්ට ඕනෙම නැති තරම්. ඒ තරමට ජීවත් වෙන්න ඕන හැම දේම ඒ කන්දෙ උඩ ගමේ තිබුන. මහ හිමයෙ ආදම්ගෙ උයන මගේ හිතේ ඇඳල තිබුණ රූපය මේ මූකලන් ගමට ඇලිල ගියා. පාර දිගට පලතුරු යායක්. දමුණ මුලින්ම මන් කෑවෙ එහෙදි. අපි ගස් පීර පීර කෑවා. පේර වල තිබුනෙ අමුතුම රහක්.  අන්නාසි පවා වවනව කියල පොඩ්ඩෙක් කිව්ව. තැනක හේනකට ගිනි දාලා අලු වෙලා වැස්සෙන් තෙතෙබත් වෙලා පොළෙව අරුම පොහොර පාටයි. දඩමස් හිඟ වෙන්න කොහෙත්ම විදියක් නෑ. රා ටිකක් තොල ගාන්න බැරි වෙච්ච එක ගැන මට තවම දුකයි.  දෙලක් කඩා ගන්න අලයක් බතලයක් ගලවගන්න ඕනෙ තරම් පහසුකම් තියෙනව.  ඇයි දෙයියනේ වතුරෙ සනීපෙ. ගල් ලිඳක් තිබුණා. වැස්සෙ ඒ වෙනකොටත් නාල හිටියත් අපි ආයෙත් නෑවා. ඒ සොබාව ඒ වෙනකොටත් මාව පුදුම පෙරේතයෙක් කරල තිබුණෙ. ගමේ තිබුනෙ ගෙවල් විසි ගානක් විතරයි දැන ගත්ත හැටියට.  ගේකට ගෙයක් පේන්න නෑ. රෑ බෝවෙවි තිබුන නිසා ගම වටේ රවුමක් ගහන්න වෙලාවක් තිබුනෙ නෑ. ඇත්තටම කියනවනම් පෙරදා ඇබැද්දිය හින්ද ගම්මුන්ගෙන් පුලුවන් තරම් වහන් වෙන්න තමයි ඕන කරේ. පොඩි එවුන්ගෙන් දැනගත්ත විදියට ගම් බැද්දෙන් උඩ තියෙන පතනෙ කූඩාරම ගහන්න තමයි මුලින් හිතුවෙ. ඒත් මොන දෙවියො හරි ඒක නැවැත්තුවෙ පෙර පිනකට කියල තේරුනේ පහුවෙනිදා පතනට අඩිය තියෙනවත් එක්කම තිබුණ උනු උනු අලි බෙටි දැකල. මීදුම් වලාකුලු සැරින් සැරේ එහේ මෙහේ ගියා. අපි කූඩාරම් ගැහුවෙ ගමේ වරිග සභා රැස්වීම තියෙන ගහ කිට්ටුව. තඩි දෙල් ගහක් යට. ඇත්තටම කිව්වොත් තද වැස්සට ඉපදෙන දිය ඇල්ලක් ගලන පාරෙ. මහ රෑ මහ වැස්සෙ අපි උඩිනුත් තෙමුණ. යටිනුත් තෙමුණා.  මහ එළියෙ ගෝන ඇල්ල ලගයි, පල්ලෙබැද්දෙදියි කුඩාරම් වල හොදට නාලා තියෙන මට මේක තවත් හිනා යන කතාවක් විතරක් වුනා.   අපි කූඩාරම් ගහන කොට ගම්මු ඇවිත්
"අර අම්බලමක් තියෙනව එතනට ගිහින් පෙරලි පෙරලි නිදාගන්න පුලුවන්"  කියල කිව්ව.
"අපේ හිත් වලටත් හරි මදී පිටින් අපේ ගමට ඇවිත් මෙහෙම නිදා ගන්න එක"
"දන්නව නම් අපේ ගෙයක් හරි අස් කරල දෙනව" මොනව කිව්වත් මේ හිද්දලයො ටික නෙවෙයි කූඩාරමෙන් හෙල්ලුනේ.
"කොහොමෙයි කන්ද නගින්නෙ අලි ඉන්නවනෙ" මේක නං නොකිව්ව එකෙක්වත් එකියක්වත් නැතිතරන්.
"තනියෙක් ඉන්නව නැට්ට කැඩිච්ච. ඕක ඉව වැටුනොත් එලවන් එනව"
"අලි ආවොත් මොකද කරන්නෙ" අපි ඇහුවා. "හිටු කියල දුවනව"
"ගමට අලි එන්නෙ නැද්ද?"
"ඉනිමං කන්දෙන් අලින්ට බහින්න බෑ"  එය සැබෑ සොබාවික අලි දුර්ගයක් බව අපි දැක්කෙ පහුවෙනිදා ඉනිමං කන්ද නගිද්දි. ගමේ ඉදන් ටිකක් උඩහට වවපු වතු මැදින් යනකොට අංශක අනූවකට කිට්ටු බෑවුමක කන්දක්.  පතන තියෙන්නෙ ඊට උඩින්. අලි වාසල තියෙන්නෙ පතනෙ. යහන්ගල තියෙන්නෙ පතනට එහායින්. අපට යන්න තියෙන්නෙ අලිත් එක්ක. හැම එකාගෙම අලි කතාව හිත ගස්සන එකක් වුණා.

මේ ගම වාසනාවන්තයි කියන්න තවත් එක හේතුවක් තමයි අලි සද්දෙ ඇහුනට අලියගෙන් බේරිලා ඉන්න පුලුවන් වීම. තවත් හේතුවක් තිබුණා. තිස් පහේ ගමේදි අපිව එලොව එලොව ලේ බීපු මිනින්දෝරු කරදරේ මෙහේ නැති එක.  ඇත්තටම එකම කූඩැල්ලෙක් වත් දැක්කෙ නෑ.  වැස්ස නිසයි මෝඩ කම නිසයි කූඩාරම ඇතුළෙම ලාම්පුතෙල් ලිප පත්තු කරන් අපි ඉව්වා. රෑත් ඉව්වා. පාන්දරත් ඉව්වා. වෑංජන දෙක තුනක් එක්ක කෑම ටික සුපිරියට තිබුණා. උදේ නම් අහලින් කඩා ගත්තු කෙහෙල් කොලේක බත් දාගෙන කෑවෙ. කලින් දවසෙ ආණ්ඩුවෙ බොඩිමේ ඉදල වැස්සෙ තෙමි තෙමි කන්ද නැගල මදිපාඩුවට නිල් කැටේට වතුර පිරිච්ච ලිදකින් නාල පලතුරු ගිලල මදිපාඩුවටට තේ බිල බත් කලා රෑ මහ වැස්සෙ කූඩාරම යටින් ගලපු දිය පාරට දියබත් වෙලා වැස්සෙ නිදාගන්න බැරිකොට කලින්දා කූඩුවෙදි වගේ රස කතා කිය කිය ඉදල ආයෙ පාන්දර කිරි බිලා බත් උයල කාලා මේ නටන නාඩගම මොකාට පිස්සුවක් වුනත් මට නම් සුපිරි අත්දැකීමක්. අමරණිය අත්දැකීමක්.

තුන්වෙනි දවසේ පාන්දර කාපු ගමන්ම අපි ලෑස්ති වුනේ ගම්මු එන්න කලින් කුඩාරම ගලවල වතුර මිරිකල හංගන්න. "නෑ අපි තෙමුනෙ නෑ. හොඳට නින්ද ගියා" කලින්දා හවස අපට අම්බලමට යන්න කියපු ගැමියට අපි කිව්ව. මනුස්සයා හිනා වෙවී හිටියා. අපි දවල් වෙන්න කලින් පොඩි උන් ටිකක් එක්ක පාර හදාගෙන ඉනිමං කන්ද ගාවට ආවා. එතනදි උන් අපිට සමුදුන්නා. ඇත්තටම අපි ඒ වෙනකොට වැස්සයි අලි කුලප්පුවයි නිසා යහන් ගල නොගිහින් පතන හරහා ගිහිල්ල කළුගලට බහින්නයි කල්පනා කරගෙන තිබුනෙ. ගම්මු කියපු විදියට ඉනිමන් කන්දෙන් නැගල පතන දිගේ යන කොට මැරිච්ච කොස් ගහක් ගාවින් පාර දෙකට බෙදෙනව. එකක් යහන්ගලට අනික කලුගලට. පස්සෙයි මතක් වුනේ මැරිච්ච කොල නැති කොස් ගහක් අඳුන ගන්නෙ කොහොමද කියල. පතනෙ කොච්චර දුර යන්න ඕනද කියල කාටවත් ලොකු අදහසක් තිබුනෙ නෑ. ඉනිමං කන්ද ලගදි පොඩි උන් නැවතුනා. අපි උන්ට කට පුරා පින් දිලා මාන පීර පීර ඉනිමං කන්ද නගින්න පටන් ගත්තා. තනි කෙළින් බෑවුම. යන්තං හරි කකුල වැරදුනොත් ආයෙ දෙකක් නෑ රෝල් වෙලා මැද කැළේට. කොහොම හරි අපේ පිනට වගේ කකුල ගාව ඉදලම පහලට කිරිමූද වගේ මීදුම. බෑවුම කොච්චරක්ද කියල දැකල බයවෙන්න කිසිම හේතුවක් ඒ නිසා තිබුණෙ නෑ. පැයක් විතර වැර දාලා පතනට ගොඩ වුණා. ඒක සානුවක්. ඒක පුදුම හිතෙන භයංකර දර්ශනයක්. යන්තං අඩි දහයක් විතර අපේ ඇස් හොදින් පෙනුනා. අඩි තිහක් විතර යනකං බොඳ මීදුම්. ඊට එහා කිරි පාට වළාව. යන්තං හුළගක් හමනකොට සුදු දුම ඈත් මෑත් වෙනවා. පතනෙ තැනින් තැන කුරු ගස් පේන්නෙ එතකොටයි. ඒකත් පටලයකින් වැහිච්ච සිත්තමක් වගේ. පේන මානෙ තණ සිරියාවන්ත කොල පාටක්.  ඒ තණ උඩ දුම් දාන පත අලි බෙට්ටක්.  අනේක සිතුවම් මවන භූත මීදුම් දුමාරයත් හුම්මානයෙ වගේ සද්ද දාගෙන කන්දෙ හැපි හැපි භූත සද්ද මවන මාරුතයතේ හුළගත් එක්ක සෙල්ලම් කරන තණ වල ස්ස්ස්ස්ස් සද්දෙත් මරුට චණ්ඩිකම් දාන ක්‍රීක් ක්‍රීක් ගාන කුරු තුරු පෙලත් පේන් නැති ඒත් ගලින් ගලට වැටිල ගලන දිය පාර වල නැවුම් සද්දෙත් අතෑරලා ආයෙත් ගම් වදින්න හිත කිව්වෙ තාමත් බය කියල දෙයක් හිතේ තියෙනව කියල මට අනතුරු පෙන්නලා. මේ සේරම ලස්සන අස්සෙ අපි එක්ක සෙල්ලං කරන්න බලං ඉන්න අලි යාලුවො මීදුම අස්සෙන් කොයි වෙලාවෙ හරි පාත් වෙනව කියලමයි හිත කිව්වෙ. හරි ආවොත් මොකද කරන්නෙ. උන් එක්ක මේ පතනෙ කොහේ දුවන්නද. අලි දුවන්නෙ අලි දිවිල්ලක්. කදු බෑවුමකදි අලි වෙඩිල්ලක්. පීනුවත් ඕකුන් එච්චර තමයි මන් හිතන්නෙ.

මොනව උනත් අලි හත් අට දෙනෙක් හරි මේ කන්ද මුදුනට අරක් ගෙන ඉන්න එක ගැන අපි සතුටු වුණා. මහ එළියෙ ඔහියෙයි පට්ටිපොළයි ඉදල අපේ උන්ගෙම කර උඩින් තැන්නට ගිය සුද්දො එහේ අලි නැත්තට නැති කරා. අනික් පළාත්වල අලි රංචු පිටින් රට පැටෙව්වා. දළට මරා දැම්මා.  කුරු අලි ටිකත් ඉවර කරා. අපේ ඕනෙම හිමේක අලි හිටියා. මගේ විශ්වාසය නම් තාම ඉන්නවා. යහන් ගලත් අලි පුරක්ම වෙන්න ඕනෙ. කොහොම හරි අලි බයත් හිතේ වැඩ කරන අස්සෙම අපි ඉස්සරහට ගියා. පාරක් කියන්න තරම් දෙයක් පෙනුනෙ නෑ. සමහර පාරවල් දිගේ ගියාම නතර වුනේ අලි ලැගපු තැන් වලද කොහෙද. උසට වැවුණු තණ රවුමට ඒ තැන්වල බිමට පහත් වෙලා තිබුණා. පතන අලි පාරාදීසයක්ම තමයි. අලි සෙල්ලම් හැමතැනම. අලි කඩපු ගස්, ඇතිල්ලුනු ගස්, අලි වසුරු, අලි ඇඳන්, අලි අඩි, අලි පාරවල් දසතෙම. අපට තිබුනෙත් අලි විනොදයක්, අලි බයක්. වතුර පාරවල වතුර පලිඟු පරාදයි. දුමාරය වතුර පාරත් එක්ක සෙල්ලම් කරනකොට දැනෙන හැගීමට වචන නෑ. එළියක් තිබුණට අව්වක් කොහේද නෑ. වර්ණනාවට උපමා දාලා කිව්වට ඇත්තටම පරිසරේට මෙච්චර වෙස් ගන්න පුලුවන්ද කියල මට හිතුනා.

එක සැරේටම මගේ දැහැන බිඳුනෙ එකෙක් හයියෙන් කෑ ගහපු නිසා. කෑ ගහන සද්දෙ මුලදිම මට බියකරු හීනයක් සැබෑ වෙන බවක් හැඟුනා. "අන්න අන්න අලි එනවා" නොපෙනෙන මානයකට අත දික් කරපු මේකා කෑ ගහනව. "මේ පැත්තට තමයි එන්නෙ. උන් දුවගෙන එනව". මගේ කකුල් වෙව්ලන්න ගත්තා. කලින් වැහි සීතලට යන්තමින් ගැහි ගැහී තිබුණ දත් කට කට ගාලා සද්ද දෙන්න පටන් ගත්තා. "කෝ බං කොහෙද පේන්න නෑනෙ". "අර අර එන්නෙ මේ පැත්තට එන්නෙ". කට්ටියම දිගාවෙලා පදුරු වලට මුවා වුනා. බය හිතෙන හුලං සද්දයක් කනේ දෝංකාර දුන්න. මීදුම තවත් ඝන වුණා. මන් ඇදන් හිටපු තැඹිලි පාට කමීසෙ පට ගාල ගලවල දැම්ම. ඒත් මෙවුන් අපේ ඉස්සරහට එන පාටක් නෑ. බයත් එක්ක අර නැට්ට කොටත් එක්ක පොඩ්ඩක් දුවන්නත් හිතේ කොනක පොඩි ආසාවකුත් තිබුණා. විනාඩි පහක් හයක් බැලුවා. පතනෙ ආරක්ෂකයො ප්‍රාදූර්භූත වෙන හැඩක් නෑ.  අපි ඊළගට ගන්න පියවර මොකක්ද කියල බැලුව. පතනට නැගලම පැයකට කිට්ටුයි. අනික අලි එනව කියල පෙන්නුවෙත් අපි ආපු පැත්තෙන්මයි. ගමට යාමේ අදහස අතෑරගෙන අපි ඉස්සරහටම ගියා. "ඇත්තටම අලි ආවද බන්" මන් අලි දැක්ක එකාගෙන් කිට්ටු වෙලා ඇහුවා. "ඔව් යකෝ" ඌ දිවුරුවා. ටිකකට පස්සෙ කදු පැත්තට වෙන්න අතු කඩන බර සද්ද බද්ද වගයක් අවා. අපි කරන්න පුලුවන් වෙච්ච එකම දේ වුන අපේ පාඩුවෙ ගමනෙ ගියා. තවත් පැය බාගෙකට තුන් කාලකට විතර පස්සෙ අපි ගහක් පහුකරා මැරිච්ච කොළ නැති ගහක්. කොස් ගහක සේයාවක් නම් ඒකෙ තිබුනෙ නෑ. අනික වමතට පාරක් තිබුනෙත් නෑ. කඳු දෙකක් අතර නිම්නයක් වගේ කැළෙන් වැහිල තිබුනෙ. අපි ඊලඟ කන්දත් නැග්ගා. නැග්ගහමයි දැක්කෙ කඳු පාමුලට ඈතින් යන්තං අතරින් පතර පේන වහල දෙක තුන. කළුගල. අපි නිගමනය කරා. පහු කරපු ගහ කොස් ගහ තමා. ඒ නිම්නය තමයි කළුගල පාර. ආයෙත් පාර හොයන් යන්න බැරි නිසා මානයි වලුයි දෙපැති කරන් පාර කපන් කන්දෙන් බැහැ බැහැ ආවා. දෙයියො දුන්න වගේ කන්ද පාමුල දමුණ. ඇගට ලේ ටිකක් උනල තිබුන වෙලාවෙ බඩේ තිබුන ගින්දර නිවාගන්න අපි කෑම දැකල නැති උන් වගේ කෑවා.

ගමන එතනින් ඉවර වෙන පාටක් තමයි තිබුනෙ. වැස්සයි, බයයි, මහන්සියයි, වෙලාවයි කියන සේරම නිසා අපිට යහන් ගල පෙනි පෙනී අතෑරල දාන්න වුණා. කන්ද පාමුල ඉදල තවත් කිලෝමීටර පහක් හයක් පොඩි වුන් වගේ මහ වැස්සෙ නට නට අපි කළුගල හන්දියට ආවා. එතනින් ආයෙත් උඩුදුම්බරට නුවරට එතනින් ගෙදරට ආවෙ පොලිස් පණිවිඩෙන් පත්තු වුණ ගිනි නිවන්නත් බලාගෙන.

ප.ලි.

මේ කතාව ලියන්නම ඕනෙ කියල හිත දුන්නෙ මැදවත්ත කැළේ නිසා. ඇත්තටම මට එතන දිව්‍ය ලෝකයක සිරි තිබුණා. මේක ලියන්නෙ ඒ පැතිවල ගිහින් බලල ශා මරුනෙ කියල ෆන් එකක් දාල එන්න හිතක් පහල කරන්න නෙවෙයි. මේ ලංකාවෙ හැම තැනක්ම මේ විදියයි කියල මතක් කරල දෙන්න. කරුම සංවර්දන කියල මළ රෙද්දකින් මේ ලස්සන වහල තියෙන්නෙ. තාමත් පරක්කු නෑ ඔය මළ රෙද්ද ගලවලා දානවනම්.