Friday, November 25, 2016

ඒත් උඹල අන්තිමේදි සුදු හාමිනේවත් මරා ගත්තා..

"අව පෑලවිය දාක වී කරලට හඳ එළිය වැදෙන හැටි ඇය ආසාවෙන් බලන් හිටියා.  ගොයමට නිල්ල වදින කොට සුදු හාමිනේ තවත් පින් පාටට හැරුණ. වැහි අඳුරෙ ලා පොදක ගොයමෙ තිබුණ ලස්සන බලන්න මට ඉගැන්නුවෙත් ඈම තමයි. වෙල් මඩ සුවඳ ඇයව කුඹුරට වශී කරගෙන තිබුනෙ. පුරන් හීය දා මහන්සිය දියවෙන්න නියරෙ වාඩිවෙලා යායටම ඇහෙන්න කවි ගෙතුවා. සමහර දාක බටනලාවෙන් මවපු සද්දෙ අහන්න මයින රංචු ඈ වටා එකතුවෙලා හිටියා. ගෝඨයිම්බර වැලපුමක් ඒ සද්දෙ අස්සෙන් මාව හැඩෙව්වා. 'මී වස්සො.. මේ කුඹුර අස්වැද්දුවොත් උඹට ඇහැකි මාව සහේට ගන්න'. මාව උසි ගන්නල තල්ලු කර කර උදැල්ල කර තියාගෙන පුරන් ලියද්දට මාව එක්කගෙන ආවෙ ඇයයි. කාශ්ඨක මුස්පේන්තු කොළඹ අතෑරලා ගමට පල කිව්වෙ ඈයි. මාස් පතා ලක්ෂ ගණන් පඩි හම්බෙන මෘදුකාංග ඉංජිනේරු රස්සාවට පයින් ගහල මගේ මනාලි කන්තෝරුවක පියන් කෙනෙක් එක්ක ගං වැඳුන. 'ඔය රස්සාව දෙන්නෙ සල්ලි විතරයි. ඒත් මට ඕනෙ ජීවිතේ විතරයි.' ඈ ගමට ආස කරපු තරම්. ගම විඳපු තරම්. පන්සලේ නුග ගහ යට පහන් පැළේ අඳුරෙ පහන් එළියෙන් ඇගේ මූනේ රටා මවද්දිත් පුරා හඳ කිරි පාටින් ඇගේ මූණ දෝවද්දිත් ඒ සුදු මූණෙ හිනාව මතක්වෙද්දි දැනෙන සතුට. සුදු හාමිනේ සොබාදහමෙ අපිරිමිතම දායාදයක්. ගහකට කුරුල්ලෙකුට සීපාවෙකුට සුදු හාමිනේ කතා කලේ නෑයෙකුට තරං ලෙන්ගතුකමින්. ඈ මට ඉඟි පපා ගොයම් නෙළුව අපූරුව. මඩ ගොඩක් බත් ගොඩක් කරපු අපූරුව. අමාවකේක කුඹුරු යාය කොනේ මී ගස් සෙවනෙ තනි වෙන්න ඈ ආස කළා. 'මට ඕනා යක් පැටියෙක්.. මේ පුරන් යායම අස්වද්දන්න පුළුවන් බෝධිසත්වයෙක්.' ඒ හීන් මැතිරිල්ල මට මහා මිහිරියාවක් වුණා. 'බලපිය අර මයිනො රංචුවෙ රඟේ..  මහත්තයො ආං ආං අර ඉගිල්ලෙන කොක් රෑනෙ ලස්සන.. අප්පා නා කැලේට උඩින් රතට රතේ ඉර ගිලෙන හැඩ.. මේ ඇහුනද තෙහෙට්ටුව මකන්න මං හුළං රැල්ලක් බදා ගන්නෙයි. උඹට ඉරිසියයිද..' කුඹුරු කොටන අස්සෙ සුදු හාමිනේ සතුටෙන් ඉපිල්ලුනා. නියර දිගේ පන්සලට හීල අරන් යනකොට නැගෙනහිර කුඹුරු යායෙ කෙලවර ඉර දෙයියො මීදුමත් එක්ක කරන සෙල්ලම්. ගොයමෙ අග දිලිසෙන පිනි බින්දුවක් පවා ඈව දිලිසෙව්ව. වෙසක් හඳට කලින් තුදුස්වකදා උදෑහනේම සුවදැල් කිරිබත බුදුන්ට පූජ කරන්න ඈ පේවෙලා හිටිය. 'මේ බුදුන්නෙ පොළොව. ඒ පොළොවට මටත් වඩා ආදරේ කරපං'.  එහෙම කිව්ව සුදු හාමිනේ වැඩි කාලයක් නොයාම මීගස් හෙවනෙ මහ පොලව යටම හැංගුණා. ඒත් මහ පොළොවත් ඈත් එක්කම යන්න ගියා.  ඈ මට පෙන්නපු ලස්සනත් ඈම අරන් ගිහින් තිබුණා. වක්කඩේ තවත් තිත්තයො හිටියෙ නෑ. දොළ පාරෙ දණ්ඩි ගහගෙන ගිහිල්ල තිබුණ. ගොයම වටේ කරක් ගහපු බත් කූරොන්ට සමණල්ලුන්ට පාර වැරදුණාද මන්ද. ඇළ පාරවල තෙල් තට්ටු ගොඩ ගැහිල තිබුණ. දෑලෙ කුමුදු පරවුණා. සල්ලි මවන්න ඔහේ ගහපු විස පෝර මගේ හිත ඇතුලෙ දුක වල් යායට වැවුව. 'මට ආසයි දෙයියො ආයෙත් මඩ කුඹුරෙ උඹත් එක්ක නටන්න. කුඹුර අයිනෙ කුඹුක් ගස් යට දොළ පාරෙ ගිලෙන්න'.  සුදු හාමිනේ මියැදෙන්න ටික දොහකට කලින් ඈ ගොම ගාපු පිළ උඩ මගේ උකුලෙ වැතිරිලා කෙදිරි ගෑව. මිනිස්සුන්ට හරිත විප්ලවේ ලොකු වුණා. සිංහලේ විදියට කුඹුරු කරපං කියපු සුදු හාමිනේට හරිත විප්ලවේ විනයක් වුණා. කෝට් ඇදගත්ත උන් බූට් හෙල්මට් දාගත්තු ගොවියොන්ව යුද්දෙට එව්ව. අපි පරාද වුණා. වකුගඩු වලට වහ පුරවල උන් සුදු හාමිනේව මරා ගත්ත. එදා අමාවකේ මී ගහ යට වවුල් පොළේ ගෝසාව ඇහුණෙ නැතත් අද මගේ ඉකිය උන්ගෙ සද්දෙට යට වෙලා. 'මිනිස්සු බලන්නෙ පහසුව විතරයි පැවැත්ම නෙවෙයි.' ඈ කරේ සක්විති හටනක්. මහා ජඩ සම්මතයක් පරද්දල ඈ කුඹුරට වැඩියා.'අස්වද්දන්නෙ නැතුව කවදාවත් වෙල්ලස්ස ගිනිබත් කරපු පලිය ගන්නත් බෑ. ඒ සංහාරෙ මතක් වෙනකොට පපු කැවුත්ත උණු වෙලා ඇස් පුරෝන කදුළු නවත්තන්නත් බෑ'. තරහට ඈ ගිනියම් වෙනවා. උඹව මතක් වෙනකොට ගලන කදුලු නවත්තන්න මටත් බෑ සුදුහාමිනේ. උඹව අමතක වෙලාවක් එන්නෙත් නෑ. ඒත් මේ හැතිකරේ පොළොවට ගහන විස හෝදන්න මගේ කඳුලු මදියි දරුවො. අනේ ගම්බාර දෙයි හාමුදුරුවනේ සක්විත්තො කුඹුරට බැහැල වස ගොඩක නැහෙනව. පරයින්ට පුක දෙන නපුංසක හැත්තක් රට කරවනව. උන්ගෙ කත් අදින්න ඉස්කෝලෙන් කියල දෙනවා. වණේ සනීපයි සනීපයි කිය කිය වණේ කස කස ඉන්නව. වණේ සනීප කරන්න මොකෙක්ටවත් ඕනකමක් නෑ. මේක වණයක් කියල නොදැන රස කර කර ඒකෙම සැරවා බිබී ඉන්නව.   ඒ සී කාමර ඇතුලෙ මහා මාස් පඩි ගන්න හිඟන්නො ප්‍රකෘතිය සල්ලි වලින් වහල විකුර්තියක් මවා ගෙන නළුවො වගේ ඒකෙ ඇතුලෙ රඟපානවා. මං එරෙව්වට උන් රඟපාන එක නවත්තන්නෙ නෑ. උඹව ජීවත් කරවන්න මට පිනක් තිබුණෙ නෑ සුදු හාමිනේ. පිල ඉස්සරහ සුදු හාමිනේ ඉන්දපු සුදු පිරුවට පිරිච්ච සමන් පිච්ච පැලේ සුවඳ මට ඇයව මතක් කරනව. වත්ත පිටිපස්සෙ දඹ ගහ මුලේ වාඩි වෙලා මං තවමත් ඇයත් එක්ක ඕපයක් කියව කියව විටක් හපනව. පහළොස්වකට විහාරෙට ඈත් එක්ක තවමත් සුදු නෙළුම් පූජ කරනව. මගේ හිත ඇතුලෙ නියර දිගේ වහුපැටව් එක්ක තාමත් ඈ හිනාවෙවී දුවනව. මටත් තව වැඩි කාලයක් නෑ. මාත් පෙරුම් පුරල තියෙන්නෙ සුදු හාමිනේ උඹ වගේ උත්තමාවියක් එක්කම සංසාර ගමන යන්න. රටටම වහ නැති බත් වේලක් දෙන්න ඒ අහිංසක කෙල්ල හීන මැව්ව.  ඒත් උඹල අන්තිමේදි සුදු හාමිනේවත් මරා ගත්තා."

Tuesday, November 15, 2016

ඒ මහ එළිය... හෝර්ටන්ගෙ මුකුත් එහෙ නෑ

හෝර්ටන් තැන්න.. නෑ ඒ මහ එළිය.  අමුතුවෙන් පරයෙක් ඇවිත් හොයාගන්න දෙයක් එතන තිබුනෙ නෑ. අවුරුදු දාස් ගානකට කලින් අපේ උන් එහෙ වී වැවුවා. ගුවන් යානා ගොඩබැස්සුවා. කිරිගල්පොත්ත වත් තොටුපළ වත් අමුතුවෙන් අපට හොයල දෙන්න දෙයක් තිබුනෙ නෑ. ගෝන ඇල්ල ගැන අපට අමුතුවෙන් කියන්න ඕන නෑ. විනෝදෙට කියල සත්තු පස්සෙ පන්න පන්න වෙඩි තියපු වරෙව් ලංකාවට මෙහෙ සත්තු මරන්න සුපිරියි කියල  සුද්දොන්ට ආරාධනා කරපු බේකර්ස් වගේ පර බල්ලන්ගෙ නමින් දියඇළි, කඳුරු නම් කරාට අපේ මිනිස්සු ඕවයෙ බඩ ගෑවෙ සහස්‍ර ගානකට කලින්. රට රකින්න කඳු රකින්න ඕන කියල නීති කෙටුම්පත් කරේ සහස්‍ර ගානකට කලින්... වරිගෙ පුරාජේරු නවත්තල දැන් ලියන්නෙ අපි මහඑළිය බඩ ගාපු හැටියි. ඒ මීට අවුරුදු පහකට හයකට විතර මතකයක්. මෝඩ තකතීරු ගොබ්බ වැඩ වැඩියෙන් කරපු කැම්පස් කාලෙ, යාලුවො දහයක් දොළහක් එක්ක ගියපු ගමනක්. හිත පුරාවටම දැනුන ආදර ලස්සන ඇරෙන්න සිද්ධි සේරම නම් ලොකුවට මතක නෑ.

Saturday, November 5, 2016

රළට ඇදෙන රැළ

රළක් ගසන සද රැළට ඇදෙනවා
එන යන දිස නෙත නැතුවම යනවා
දිය නටනා තුරු කකුළු කෙළිනවා

රළට වහං වෙන රැළට බිය නොවෙන
රළ දැක රැළ මැඩ ගමනේ යනවා
කෙසරින්දා ඒදණ්ඩේ යනවා

රළක් ගසන සද රැළට ඇදෙනවා
දිය නටනා තුරු කකුළු කෙළිනවා
රළට වහං වෙන රැළට බිය නොවෙන
කෙසරින්දා ඒදණ්ඩේ යනවා

රැළේම යන්නෝ සිරික්කි ලන්නෝ
රළ බිඳ ඉන්නෝ නිවන් පතන්නෝ
බුරන හඬට කඳු නොම සෙලවෙන්නෝ

රළට ඇදෙන පණ නැති නිවටුන් රැළ
රැළ නැගුමට ගෙනයයි රළ බෝ දුර
සිංහ වෙස් දරා නටන සිවල් රඟ

රැළේම යන්නෝ සිරික්කි ලන්නෝ
බුරන හඬට කඳු නොම සෙලවෙන්නෝ
රළට ඇදෙන පණ නැති නිවටුන් රැළ
සිංහ වෙස් දරා නටන සිවල් රඟ

ගල් පර වැද රළ සී සී කඩ වෙයි
රළ මග ගිය රැළ සුනු සුනු වී යයි
රළට එරෙහි වෙන හිත දැඩි මිනිසුන්
රැළ සිඳෙනා දින පමා කරනවා
සිවලුන් කෙසරිඳු මතම යැපෙනවා

Friday, November 4, 2016

විල්පත්තුව - රැජිනකගේ නිවහන

බ්‍රාහ්මණ යාමය මැද්දෑවකදි වගේ අපි කලා ඔය පන්නල නොච්චියාගම් පළාතට කිට්ටු කරා. නැගෙනහිර අහස අලංකාර දාලා ඉර දෙයියොන්ට ප්‍රශස්ති කියනව. නං නොදන්න හැංගිච්ච කුරුලු ගෙවිලිච්චියො ටිකක් ඒවට සංගීතෙ සපයනවා. විල්පත්තු හංදියෙන් අපි වාහනෙන් බැස්සෙ කැළෑ වදින්න හරියන වාහනේට මාරු වෙන්න.  අපි සේන්දු වෙච්ච වෙලාව තීන්දු කරගත්තු වෙලාවට වඩා කලින් උන හින්ද  ෆෝවීල් එක එනකං සුළුදිය ටිකක් ගහක් මුලට හලලා හංදියෙ පුල්ලෙයාර් දෙයියන්ගෙ මූනත් බලල බෝක්කුවක් උඩ වාඩිවෙලා පුත්තලං පැත්තෙ ඉදන් අනුරාධපුරේ ඉගිල්ලෙන වාහන බල බල හිටිය.  අලුයම හිත සීතල කරන අස්සෙ මට නම් මදිපාඩුවකට තිබුනෙ උණු තේ උගුරකුයි ටික කාලෙකට කලින් මේ වගේ පාන්දරක අනුරාධපුර පැත්තෙ පොඩි තේ කඩේකින් කාපු කිරි ආප්ප දෙක තුනකුයි.

යහන්ගල අලි පුර

යහන්ගල ගමන කියන්නෙ මට තවත් අමරණීය මතකයක් ගොඩනගපු සංචාරයක්. නිදහස් ගමනකින් මන් බලාපොරොත්තු වෙනවට වඩා සිය ගුණේක අත්දැකීම් ලබා දීපු ගමනක්. මිහිපිට අපායකුයි දිව්‍ය ලෝකයකුයි අතරෙ දෙදවසක් ගතකරා කිව්වොත් වැරදි නෑ. කඳු නගින්න ආවට ඒක හිතේ හයියට හිතුවක්කාරකමට මෝඩකට ආපු ගමනක්. ඒ වැහි කාලයක්. කන්දට හෙවත් මහ නුවරට ලං වෙන කොට වැස්ස දොඹෙන් දෙනව.  මහියන්ගනේ දහඅට වංගුව පටන් ගන්න තැනින් බස් එකෙන් බහිද්දිත් වැහි වලාව එහෙම්මමයි. එතනින් පස්සෙ අපි ඇතුල් වෙන්නෙ අපායෙ දඩයම් බල්ලො පිරිච්ච ගමකට. නම දන් නැති අපි තිස්පහේ ගම කියල නම් තිබ්බ ගමකට. දවස ඉවර වෙන්නෙ යහන්ගල පාර වැරදිලා, හසලක ගඟ දෙගොඩ තලා ගිහින් කන්දට එතෙර වෙන්න තැනැක් නැතුව, දෙතැනක ගහපු කූඩාරම දෙසැරෙම ගලව ගලව, කලව වෙනකන්ම දෙපයෙ පිරිච්ච කූඩැල්ලොන්ගෙන් ගලන ලේ ගඳ උහුලගෙන පොලිස් ජිප් එකෙ යන සිංදුවලට තාලෙට කූඩාරම් බෑග් එකට තට්ටු කර කර උඩුදුම්බර පොලිස් නවාතැන්පලේ දී වැදි බණ අහ අහ කූරු ගනිනවත් එක්ක. යන්තන් පාන්දර නින්දගියායින් සංචාරයෙ පළවෙනි දවස අහවර වුණා. ඇත්තෙන්ම මම අපායක් කියලා අදහස් කරේ අඩියක් අඩියක් ගානේ පයේ එල්ලෙන කූඩැල්ලොයි උන් වගේ මිනිස්සුයි පිරිච්ච තිස්පහේ ගම මිසක් පොලීසිය නෙවෙයි.  ඒ වුනත් හිඟුරු රහ මර මර ඈතින් පේන යහංගල කදු පන්තියෙ රූ බල බල  ඇල පාරක් ගාව වැහි පොදක බත් කටක් කාලා කුලප්පු වෙච්ච හසලක ගඟ බලද්දි මිහිරක් දැනුනෙ නැත්තෙම නෑ. ඒත් යම පල්ලො ටිකක් එක්ක හැප්පෙන්න වුණ හින්ද ගමම අපායක් වුණා. දෙවනි දවසෙ දිවිය ලෝකෙට ආපු නිසා ආයෙ අපායෙ කතන්දර ඕන නෑ.