Thursday, July 14, 2016

දේවී වැළපුම

නන් තෙර තුරු පිරි දෙව් දනව්වෙක
පිනි සළු වැළැඳ නල රගනා වෙලාවෙක
සියපත් කුමුදු පළඳින විල් තලාවෙක
සොබනිය දුටිමි සුවපන් හුදෙකලාවක

සිරි වත රස පොබයි හිම මැද අසිරී
සැලෙන හස්ත පුබුදයි නෙත්  සිත් මිහිරී
පැහැ මල් හොවා බඳ හැඩකල සිරිසාරී
දීපන් මසිත මවෙතම සිත් සොරකාරී

හීන් ඉකිය ඇසුනේ තව ලං වෙද්දී
දිලිසුනි මුතු අහුරු නෙතු දොර අරිද්දී
උනේ අඳුරු වටපිට හිරු තියෙද්දී
ඉගිලුනි කුරුල්ලෙක් ඈ හට හාදු දී

නුඹ හැඩකාරී අවිහිංසක විලාසිනී
සත්තයි පිරෙයි හද ආදර උන්මදිනී
අවසර නැතත් තුරුළට ඔබෙ සුර මැතිනී
පවසන් තලන්නෙමි කවුදැයි නුඹ හඬවන්නී

දිටියෙද ඉගිලුනා රහසක් කියාලා
රහස සැබැයි කීයේ ගැන සැටි නුඹලා
උන් බෝ ලඟය දැනටත් නෑයින් නසලා
කඳුලක් වෑහුනේ නුඹ ගැන දුක හිතිලා

ඇයි අප නසන්නේ මට නෑ තේරෙන්නේ
නොදනිද අපියි නුඹගේ දිවි රැකදෙන්නේ
කාපු බතට කොහොමද තොපි පහරන්නේ
අද මනු සතා පපු නැතුවද ඉපදෙන්නේ

දෙව් සිරි සැප විඳි සිත යමහල් මතට උනී
සැලෙන දෙදණ ඇගෙ  පාමුල පතිත උනී
මා අසරණයි  කිසිවක් මට කළ නොහැකී
සමාවෙයන් ලෙන්ගතු මගෙ රුක් රැජිනී