Monday, November 8, 2010

ifo++, VC, විශ්ව විද්‍යාල හා මාධ්‍ය

තවමත් ලාංකේය නිදහස් අධ්‍යාපන ක්‍රමයේ උපරිමය විශ්ව විද්‍යාලයය. එය බහුතර පිළිගැනීමය. නමුත් සැබැවින්ම විශ්ව විද්‍යාලය සැබෑ අර්ථයෙන් ප්‍රජාව හදුනන්නේද? විශ්ව විද්‍යාලය යනු උපාධි සහතිකයක් පමණක් දෙන ආයතනයක් පමණක්ද? සැබෑ ලෙසම විශ්ව විද්‍යාලයකින් ඉටු විය යුත්තේ කුමක්ද? විශ්ව විද්‍යාලයෙන් සමාජයට ඉටුවිය යුත්ත වී ඇත්ද? වගකිවයුත්තන්, පාලකයන් ඇතුළු බහුතර ප්‍රජාව එය දන්නේද? විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් අනේක ප්‍රවෘත්ති නිර්මාණය වන මෙවන් සමයක විශ්ව විද්‍යාලයක සැබෑ අරුත තෝරා බේරා ගැනිය යුතුව ඇත. මෙයද වර්තමාන විශ්ව විද්‍යාල ක්‍රමය පිළිබද කෙරෙන අර්ථ දැක්මකට පූර්ව උත්සාහයක් වනු ඇත.



ifo++
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය මගින් පසුගියදා සංවිධානය කරනු ලැබූ දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙයය. පරිගණක ක්ෂේත්‍රයේ විවිධ වූ අංශයන්හි දැනුම මේ මගින් මුදා හළහ. එය වූ කලී නව නිපැයුම් වලට තෝතැන්නක් විය. විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ දැනුම, කුසලතාව, දක්ෂතාව මොනවට විහිදුවන්නක් විය. අසීමිත ශිෂ්‍ය කැපකිරීම් වල ප්‍රතිඵලයක්ම විය. මේ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ගේ හපන්කම්ය.

VC
මේ කොළඹ විශ්ව විද්‍යාලීය උපකුලපතිතුමිය සම්බන්දයෙන්ය. ඇය ifo++ දියත් කිරීමට පෙර දින කදිම නියෝගයක් දී තිබිණි. එමගින් මහජනතාවට විශ්ව විද්‍යාල ප්‍රදර්ශන භූමිය අනවසර කලාපයක් විය. එය පාසල් සිසුන්ට පමණක් සීමා කිරීමට උපකුලපති නියෝග දී තිබිණි. ඊට හේතුව ලෙස ඇය දක්වා තිබුනේ ප්‍රදර්ශන භූමිය තුළ ශිෂ්‍ය ගැටුම් ඇතිවිය හැකි බවට දුර දක්නා නුවණින් බලා නිගමනයකට පැමිණ තිබීමය. වසරක් තිස්සේ වූ ශිෂ්‍ය කැපකිරීම් වලට නිසි ඇගයීම ඇගෙන් ලැබී තිබිණි. මෙසේ සිසුන් කෙරෙහි මර්දනය දියත් වී තිබිණි. සමාජ ගත යුතු කළ යුතුව ඇති දැනුම මෙසේ විනාශ කර දැමූ උපකුලපති කෙනෙකුගෙන් සමාජයට ඇති වැදගත්කම ප්‍රශ්න කිරීමට වටී. මේ VCගේ හපන්කම්ය.

විශ්ව විද්‍යාල
ඉහත සදහන් කිරීමට තෝරාගනු ලැබූයේ විශ්ව විද්‍යාල සමාජය තුල සිදුවූ ආසන්නතම සිද්ධියකි. මෙමගින් විශ්ව විද්‍යාල ක්‍රමය පිළිබද බොහෝ කරුණු ගවේෂණය කළ හැකිය. විශ්ව විද්‍යාලය අද මාධ්‍යය තුළ ප්‍රධාන මතෘකාවකි. දේශපාලඥයින්ගේ තීරණාත්මක සාධකයකි. ප්‍රජාවගේ නිසි අවධානය ගිලිහුණු සමාජ කඩඉමකි. අඩුපාඩුකම් වලින් ප්‍රශ්න වලින් මෙන්ම දේශපාලන අදබාලකම් වලින්ද අන්ධ වූ ශිෂ්‍ය ප්‍රජාවකින් පිරුණු භූමියකි. ශිෂ්‍ය සංගම් පාරට බැස ඇත. පොලීසිය, රජය සමග කෝලාහල කර ඇත. මාධ්‍ය වලින් විවිධ අර්ථ කථන ප්‍රජාව මත දිග හැරී ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දේශපාලන අතකොලුවකි. ජනතා මුදල් විනාශ කරයි. බහුතරය එසේ පවසනු අසන්නට ලැබේ.

මෙහිදී පළමුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හා දේශපාලනය ගැන වචනයක් කතා කිරීම වටී. කැන්වසින්, රැස්වීම් හා ජන්දය පමණක් දේශපාලනය කරගත් අපේ බහුතර ජනතාව පෙළපාලි, පෝස්ටර් කෝලාහල හා රැස්වීම් ශිෂ්‍ය දේශපාලනය ලෙස අර්ථ කථනය කිරීම නොහොබිනා කමකි. අපේ මිනිසුන්ගේ බුද්ධිමත් දේශපාලන දර්ශනයේ තරම රටේ තත්වය සමග සසදා බැලීම වටී. නමුත් ඔවුනට කිවයුතු දෙයක් තිබේ. දේශපාලනය විශ්ව විද්‍යාලයෙන් තුරන් කල යුතු බවට හඩ නගන්නන්ට කිව යුතු දෙයක් තිබේ. එනම් ස්වාධීනව, නිදහස්ව හා නිශ්ශබ්දව දේශපාලනයේ නියුතු පිරිස්ද විශ්ව විද්‍යාලය තුළ සිටින බවය. දේශපාලනය කිරීමට පෝස්ටර්, කටවුට් ගෙන පෙලපාලි යාමටම අවශ්‍යය නැති බව කිව යුතුය. නව දේශපාලනික දර්ශන, මත, සංවාද, ප්‍රවාද බිහි විය යුත්තේ විශ්ව විද්‍යාල තුළින් බවත් ඒ සදහා නියම පරිසරය විශ්ව විද්‍යාල තුල බිහිවිය යුතු බවත් නැවත නැවත මතක් කර දිය යුතුය.

දෙවනුවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හා වර්තමාන දේශපාලඥයා දෙස විමසීම වටී. භයානක තත්වය ඇත්තේ මෙහිය. තම බලය බලමුළු ගැන්වීමට විශාල පිරිසක් රැස් කර ගැනීමට හැකි පහසුම ස්ථානය ලෙස විශ්ව විද්‍යාලය අර්ථ කථනය කරගත් සමහර දේශපාලඥයින් විශ්ව විද්‍යාලය තුලින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට නොසෑහෙන පරිශ්‍රමයක් දරමින් සිටී. එහිදී ශිෂ්‍යයාගේ සැබෑ අඩුපාඩුකම්, ප්‍රශ්න දඩමීමා කරගෙන අන්ධ ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමේලා ඔවුහු මුල්තැන ගෙන ඇත්තාසේය. මෙහිදී ප්‍රජාව ශිෂ්‍යයන් තුළින් දැකීමට බලාපොරොත්තුවන තත්වය නොලැබී යනු ඇත. නිදහස් අධ්‍යාපනය තුළ මුදල් කා දමන්නන් ලෙස ඔවුහු හංවඩු ගැසීම පුදුමයක් නොවන්නේ එබැවිනි. මෙහිදී සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් ඇති වැටහීම නැවත පිරික්සා බැලීමද කළ යුතුය.

ඉන්පසු මෙහිදී දේශපාලන ශිෂ්‍ය මර්දනය, විශ්ව විද්‍යාලීය පරිපාලන ශිෂ්‍ය මර්දනය මෙන්ම අන්ධ දේශපාලනීකරණය වූ ශිෂ්‍ය කණ්ඩායම් ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම් මර්ධනය කිරීමද සලකා බැලිය යුතු වන්නේ වර්තමාන විශ්ව විද්‍යාලීය ක්‍රමය වෙත මේ තත්වයන් නොයෙක් වෙසින් බලපා ඇති බැවිනි. කෙසේ වෙතත් දේශපාලන බලපෑමෙන් සිදුවන ශිෂ්‍ය මර්දනය ජනතාවට නුපුරුද්දක් නොවුනද අන් දෙවර්ගයම ජනතාව නොදනී යැයි සිතේ. ifo++ හා කොළඹ උපකුලපතිතුමිය අතර සිද්ධිය දෙවැන්නට එක් උදාහරනයක් පමණි. ස්වාධීන කණ්ඩායම් වල නැගිටීම තම දේශපාලනික ක්‍රියාකාරකම් වල බංකොලොත්භාවයට හේතු වන බව නිගමනය කර ඇති ඇතැම්හු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම් දුටු තැන්හි පහර දීමට තරම් දීන වී ඇත.

ඉහත සාරාංශ වශයෙන් සදහන් කලේ විශ්ව විද්‍යාලයේ අද ගමනය. කෙසේ වුවද විශ්ව විද්‍යාලයක් සමාජයට වටිනා සාධකයක්ය. මෙහිදී වැදගත් වනුයේ විශ්ව විද්‍යාලයේ පැවැත්මය.සමාජයට අත්‍යාවශ්‍ය නිදහස් බුද්ධිමතුන් නිර්මාණය කිරීමට විශ්ව විද්‍යාල තෝතැන්නක් විය යුතු බවය. එනිසා ප්‍රජාවගේ සුවිශේෂී අවදානය විශ්ව විද්‍යාලය කෙරෙහි යොමුවිය යුතුය. යම් ශිෂ්‍ය ක්‍රියාකාරකම්වල බලපෑමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාජයට පිළිලයක් යැයි කී පිරිස් ifo++ නරඹා විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය උගතෙකු යයි කීම නොවටින්නේද? අප ආපසු හැරී බැලිය යුත්තේ එදෙසයි. පාලකයන් අසමත් වීම මෙහිදී කෙතරම් බලපාන්නේදැයි විමසා බැලිය යුතුය. හොද නරක සියල්ලක්ම එකට පටලවා ගත් පාලක පන්තියක් සතුව ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සියල්ලන්ගෙන්ම මර්දනය වෙයි. විශ්ව විද්‍යාලයෙන් නිමැවෙන නව නිර්මාණ, දැනුම, නව මතවාද, දර්ශන, සමාජ ක්‍රම වලට නිසි තැන ලැබ දීමට පාලකයන් අපොහොසත් බව නැවත නැවත කීමට අවශ්‍ය නැති බව සිතමි.

මාධ්‍ය
අන්තරය පොලීසිය හා ගුටිබැට නෙළා ගත් හැටි මාධ්‍ය නොසගවා ප්‍රජාවට දැන ගැනීමට සැලැස්වීය. ප්‍රජාව තුල විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයා යනු පිළිලයක් බවට ඒත්තු ගන්වා ඇත. මාධ්‍යවල චරිතය මෙහිදී විමසා බැලිය යුතුය. මෙහිදී මූලික වූ ifo++ සළකා බලමු. මාධ්‍යයෙන් ඊට ලැබුණු දායකත්වය කවරේද? පාට්නර්ෂිප් අවශ්‍ය වන්නේ මෙවන් අවස්තාවලදීද? ගුටිකෙලි වලට පාට්නර්ෂිප් අවශ්‍යය නැත. එවන් දේ කෙරෙහි මාධ්‍ය දක්වන ඈලි මෑලි කම කුමක්ද? එය එසේ සිදුවිනි නම් ප්‍රජාව තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සම්බන්දයෙන් මීට වඩා සමබර මතවාදයක් නිර්මානය වී තිබෙන්නට පිළිවන. විශ්ව විද්‍යාල වලින් උපරිම සේවයද ලබා ගැනීමට ඉඩ කඩ ලැබෙන්නට පිළිවන. දේශපාලනීකරණය වූ, වාණිජකරණය වූ හා තරගකාරී වූ මාධ්‍ය සංස්කෘතියක් ඇති සමාජයක ගැටලු උග්‍ර වනු නොවැලැක්විය හැකිය. මේ මාධ්‍යයේ හපන්කම්ය.

ඒ දේශපාලනය, මර්ධනය, මාධ්‍ය හා ප්‍රජාව තුල විශ්ව විද්‍යාල ක්‍රමයයි. දැන් නැවත VC දෙසට හැරීමට වෙලාව පැමින ඇත. මන්ද යත් එම සිද්ධිය තුලින් ගම්‍ය වනදේ විශ්ව විද්‍යාල ක්‍රමයට මරු පහරක් වනු ඇති බැවිනි. ඇගේ ඒ වෑයම ජනතාවගෙන් විශ්ව විද්‍යාලයේ සැබෑ ස්වරූපය වසන් කිරීමද? පහත දෑද හේතු වීමට හැකිය.

1. ජනතාව තුල විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සම්බන්දයෙන් යහපත් ආකල්පයක් ඇති වීම වැළැක්වීම හා එසේ කොට විශ්ව විද්‍යාලය කෙරෙයි ජනතා විශ්වාසය බිද දැමීම.
2. ශිෂ්‍යයන් කුපිත කොට ගැටලු ඇති කරලීම
3.යම් දේශපාලනික අවශ්‍යතා ඉටු කරදීම.
4. යම් පෞද්ගලික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම.
5. තම බලය පෙන්වීම
6. ඇතිවිය හැකියැයි කියනු ලැබූ ශිෂ්‍ය ගැටලු වැලැක්වීම.

මෙහිදි යම්තාක් දුරකට සාධාරණයැයි හැදින්විය හැකි අවසාන කරුණ සම්බන්දයෙන් කරුණු විමසූ කළ නැගෙන පැනය වනුයේ ශිෂ්‍ය ගැටුම් ඇතිවීමට මෙම ප්‍රදර්ශන භූමියම අවශ්‍යද යන්නය. එම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල මින් පෙරද පිරිස් සංවිධාන වන ක්‍රියාකාරකම් ගොඩනැගී නැත්දැයි එතුමිය විමසා බැලිය යුතුය. එබැවින් ඇගේ මානසිකත්වය තේරුම් ගැනීමට පාඨක ඔබට බාර කරමි. එමෙන්ම මෙහිදී කිව යුතු දෙයක් ලෙස සලකනුයේ ifo++ සංවිධායකයින්ගේ හැසිරීමය. අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමට ගොස් ගැටුලු ඇති කර ගැනීමට වඩා තම ක්‍රියාවේ සාධාරණත්වය ඉලිප්පීමට ඔවුහු උත්සුක වූහ. අවසානයේ සාර්ථක ප්‍රදර්ශනයක් ඔස්සේ ඔවුන් ජයගෙන ඇත. අසාධාරනය හමුවේ ජයගන්නා අයුරු ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඔවුන් බලය හා නියෝග හමුවේ මර්දනය විය. විශ්ව විද්‍යාලීය දැනුම ප්‍රජාවගෙන් වසන් කරවීමට ඔවුන් හමුවේ මර්දනය දියත් කර ඇත. යම් අරමුනක් මුදුන් පමුණුවා ගැනීමට උපකුලපති තුමිය ගෙන ඇති පියවර නම් ජනතාවට තව දුරටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පිළිලයක් බවට පත් කරවීම පමණි. මෙහිදී ifo++ යනු ආසන්නතම සිද්ධියයි. වර්තමානය තුල මෙවන් සිද්ධි සමුදායකි. ඒ සියල්ල විශ්ව විද්‍යාල ක්‍රමයට දරුණු බලපෑම් එල්ල කොට ඇත.

චණ්ඩීන්, අපරාධකරුවන් බිහිවෙතැයි කියන මේ පද්ධතිය තුල අවුරුදුපතා දක්ෂයින් බිහිවන බව සැගවිය යුතු නොවේ. ජනතාව එය අවබෝධ කරගත යුතුය. නමුත් පෙර කී පරිදිම ඉන් නිසි ප්‍රතිපල නෙලා ගැනීමට පාලකයා හෝ ජනතාව අසමත් වී සිටී. නුදුරු දිනයකදී විශ්ව විද්‍යාල කෙරෙන් සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය සහමුලින්ම බිද වැටෙනු ඇත. නිදහස් අධ්‍යාපනය වැනසී යනූ ඇත. අධ්‍යාපනය මුදලට විකිණෙනු ඇත. එය ප්‍රභූන්ගේ ආභරණයක් වනු ඇත. මෙය වූ කලී එක් සිද්ධියක ප්‍රතිපලයක් පමණක් නොවන බව පැහැදිලිය. උත්සාහය අබමල් රේණුවක තරම්වත් ප්‍රතිපලයක් අත් කර නොදුන්නද එම ක්‍රියාදාමයට කොළඹ උපකුලපතිතුමියද මෙසේ තම දායකත්වය නිර්මාණය කර ඇත.

අවසානය දැනට මෙසේ සනිටුහන් කරමි. සමාජයක තීරණාත්මක සාධකයක් ලෙස විශ්ව විද්‍යාලය දැක්වීම නිවැරදි වේ. නමුත් අද විශ්ව විද්‍යාලය නටබුන් ගොඩක් කොට දැමීමට පිරිස් පෙළඹී ඇත. විශ්ව විද්‍යාල ක්‍රමය දරුණු කඩා වැටීමකට ලක්වී ඇත. මනා තතු තේරුම් ගැනීම සැමගේ වගකීමය. මාධ්‍ය නිවැරදිව ඒ සදහා මැදිහත් විය යුතුය. පාලකයන් මගපෙන්විය යුතුය. සිද්ධීන් නිසි ලෙස විමසීම මෙහිදී කලයුතුමය.

දහසක් කෙනෙහිළිකම් මැද කොළඹ විශ්ව විද්‍යාලීය සිසුන් අද්විතීය පරිත්‍යාගයක් විශ්ව විද්‍යාලීය ඉතිහාසයට උරුම කර ඇත. විශ්ව විද්‍යාලීය සිසුවා යනු දැනුමේ හා බුද්ධියේ නිර්මාණයක් බව පසක් කර දී ඇත. කෙසේ නමුත් දැඩි ඉවසීමකින් හා කැපවීමකින් මෙම කර්තව්‍යයට උර දී විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාලයක් කරලූ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවට හිස නමා ආචාර කල යුතුව ඇත.