Wednesday, October 27, 2010

මේ කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල


මේකත් මම ලියන්න පෙරුම් පිරුව තවත් එක කතාවක්. එක එක තැන්වල පිනුම් ගහන වෙන හිත එක තැනක නවත්තල යන්තම් ලියන්න පටන් ගන්නව. මේ කතාව ඒලෙවල් ඉවර කරල රිසල්ට් එනකන් ගෙදර හිටපු කොල්ලෙකුගෙ කතාවක්. කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල. දුක බලපවතින ක්ෂේත්‍රවල සීමාවන් නැති නිසා කවුරු හරි තර්ක කරාවි මේකට මේ නම දැම්මට හැම දේටම මේ කලාව හරියන්නෙ නෑ කියල. ඒත් තර්ක විතර්ක උඹලටම බාරයි.



කතාව එච්චර දුරට නම් ලියන්නෙ නෑ. මොකද ඒක එච්චර පොඩි නැති නිසා. මේ කතාවෙ නායකයට ඒ කියන්නෙ කලින් කියපු ඒලෙවල් කරපු කොල්ලට ගෙදරින් කන්න බොන්න හිත දෙන්නෙ නැති ප්‍රශ්නයක් ආව. ගෙදරට ණය කාරයො ඇවිල්ල කෑ මොර දෙනකොට, ගෙදර වේල ගැන අම්මයි තාත්තයි ඌට ඇහෙන්නෙ නැතිවෙන්න කටු කුටු ගානකොට, තාත්ත සල්ලි හොයන්න එක එක දේවල් කරන්න යනකොට අත පය හතර තිවුනත් නැතත් හිතන්න පුලුවන් ඕනම එකෙකුට හිතෙන්නෙ සල්ලි හොයා ගන්න යන එක නේද..? ලේ නහර මස් වැදැලි රත් කරගෙන උඩට ගලන කදුලු යන්තම් ඇස් වලින් වෑස්සෙන්න නොදී උගුරෙ හිරවුන ඉකි යන්තම් මකාගෙන ඌ ජොබක් හොයන්න ගියා. යන්තම් මාමට පින් සිද්ද වෙන්න මාමා සිකියුරිටි ජොබ් එක කරපු ඇදුම් කඩේ රස්සාවක් අල්ල ගත්ත. පඩිය දවසට රුපියල් 250 යි. කඩේ කිවුවට ඒකෙ තට්ටු පහයි. අපේ කතා නායකය නියුක්ත උනේ පහලම තට්ටුවට. ගෑනු අයගෙ පහළ කොටසෙ ඇදුම් විකුනන්න දාපු තට්ටුවට. වැඩ දෙන්න කෝටියක් උන්ලු. හැම ලොක්කටම යට වෙල ඉන්න අනික් සේවකයො සේරම මේකගෙ ඇග උඩින් උන්ගෙ අසහනය යවනව. මේ ගැන පස්සෙ වෙලාවක කතා කරමුකො. කොහොම හරි කොල්ල වැඩ පටන් ගත්ත.

උඩම තට්ටුවට දුවනව පඩිපෙල් දිගේ, පහලට අඩු ඇදුම් ගේන්න, සේවාදායකයට ඕන සයිස් ගේන්න. කට්ටිය තෝරල තෝරල අවුල් කරල දාපු ඇදුම් හදන්න. තැන් තැන් වල දාපු ඇදුම් හරි තැන්වල තියන්න. ඇදුම් වල ගනන් කට පාඩම් කරගන්න. මේ සේරම හරිලු මිනිහට සාරි නවන වැඩෙයි කෑලි තුනේ කුඩේ නවන වැඩෙයි තමයිලු දිරවන්නෙම නැත්තෙ. සාරිය නවන කොට අතින් ලිස්සල යනකොට තව එකෙක් ලග ඉදන් හිනා වෙනවලු. අන්තිමේදි යන්තම් කවුරු හරි ඇවිල්ල උදව් කරනවලු. තම තමන් කරන බිස්නස් (ඒ කියන්නෙ තමන් කොහොම හරි කාගෙ හරි ඇගේ ගහන ඇදුම් වල ගනන්) වෙනම ලියන්න කාඩ්බෝඩ් තීරුවක් තියෙනවලු. දවසෙ අන්තිමට ඒකෙ අඩුම ගානෙ පහලවක් වත් තියෙන්න ඕනලු. මොනව කරන්නද නැති දවස් වලට හිමීට හොරෙන් පැත්තකට ගිහින් මිනිහ බොරු දානවලු. ඉදල හිටල මිනිහට ලස්සන වැඩත් වෙනව. හරියට අයිතිකාරයගෙ නෝනට ඇදුම් විකුණන්න යනව වගේ.

උදේ 8.30 වෙනකොට වැඩ පටන් ගන්නව. අපේ යාලුවගෙ උදේම වැඩේ තමයි මිනිහ වගේ එකහමාරක් වගේ උස වීදුරු දොර ටීපෝල් දාල පත්තර කොලේකින් හරි රෙදි කෑල්ලකින් හරි මදින එක. දොර දිහා සුපවයිසර් බලන්න එනකොට ඒකෙ ඇගිලි සලකුණු, දූවිලි තියෙන්න බෑ. හැමදාම උදේට ඉර ඉස්සිල හරියටම වැටෙන්නෙ දොරටමයි. නළල දෙපැත්තෙන් ගලන දාඩිය පිටි අල්ලෙනුයි කමිස අතිනුයි පීද පීද අනික් අතින් ටීපෝල් ස්ප්‍රේ කර කර උරහිස කැක්කුම් දෙනකන් පිහිදානව. මිනිහ වගේම තව කොල්ලෙක් හිටියලු බන්දු කියල. ඒ හාදය නැති දවස් වලට මේකට තමයි අනිත් දොරත් පිහින්න වෙන්න. එතනට අවුව ඩබල්ලු. මෙතනදි තමයි දුක දරාගැනීමේ කලාව අපේ කතා නායකය කියල දෙන්නෙ. මූට ඕන ඉක්මනට සුද්ද වෙච්ච වීදුරුව දකින්න. ඇගිලි පාරවල් නැති දූවිලි නැති වීදුරුව දකින්න. මේ වීදුරුව කාගෙ උනත් මට කමක් නෑ. මට හම්බවෙන ගානෙන් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මම වැඩක් කරල මම සතුටු වෙනව. වැඩක් කරල ඉවර වෙල විනාඩි බාගයක් වත් කරපු දේ දිහා බලල වැඩේ සාර්ථකත්වකය දැකල සතුටු වෙනව. මිනිහ හිතුවෙ එහෙමයි. එහෙම සතුටු වෙන්න ගටෙන් කාගෙන වැඩේ කරනවලු. ඉතින් කරන දේ කොච්චර දුක වුනත් ඒක දැනෙන්නෙ නැහැලු.

දොර ඉවර වෙලා ඇදුම් රැක් ඊට පස්සෙ පඩිපෙල් ආධාරක දිස්නෙ ගහන තරමටම, සමහර දවස් වලට බිත්ති වල කුණු පාරවල්.. මේ සේරටම ටීපෝල් විසදුමයි අර තියරියයි.

මට අද ලියන්න ඕන වුනේ මේ දුක දරාගැනීමේ ඒ කොල්ලගෙ තියරි එක. මේක කලාවක් තමයි. ඒකයි මම කිවුවෙ දුක දරා ගැනීමේ කලාව කියල. මේ කතාව හිතන තරම් පොඩි නෑ. තව දිගයි. කතාවෙ අනික් ටික වෙලාව තියෙන වෙන වෙලාවක ලියනව.