Friday, October 29, 2010

සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන

"ඒ හරිම ලස්සන පරණ වෙච්ච දවස් ටිකක්. මතකෙ හාර හාර එලියට වක්කරනකොට, ගම් මූකළානෙන් එහාට වෙන්න තිබුන ගමේ පන්සලේ පෝයට පත්තු කරපු හදුන්කූරු සුවදයි, අක්ක වැඩ කරපු රබර් කෑල්ලෙ මැද තිබුන පොඩි ස්ටෝරුවෙ දුමේ දාල තිබිච්ච රබර් වල සුවදයි ඇරෙන්න මට තාමත් දැනෙන තරම් මතකයක් තියෙන්නෙ මගෙ අක්කගෙ සුවද විතරයි. යන්තං දෙමලිච්චො පිලිකන්න පැත්තෙ කෑගහගෙන එනකොට අක්ක මාව කූද්දල ඔලුව අතගාල ඉක්මනට දුවල යන්නෙ උදේ නම් ලකුණු කරන තැනට වෙලාවට යාගන්න ඕන හන්ද. මට මතකයි අක්කගෙ ඇස්වල තිබිච්ච කදුලු. ඒව මගෙන් හැංගෙන්න හදපු හැටි. ඇස් වැහෙන තරමට ඇස් අකුලුවගෙන හීන් හිනාවක් කම්මුල් දෙපැත්තෙ ගෙනියනකොටත් අක්කගෙ ඇස් මට පෙන්නුවෙ අම්මගෙ ආදරේද කියල මට හිතිච්ච වාර ගාන අනන්තයි. මම ශිෂ්‍යත්වෙ ලියන්න යන්න එලියට බහිද්දි අක්ක මගේ නලල ඉම්බ හැටි මගෙ මල්ලියෙ කියල ඉතිරි ටික ගිල්ල හැටි මගේ කදුලු මට ඉස්සර වෙන්න ඉස්සර මම කඩුල්ල පැන්න හැටි මට හොදට මතකයි. දන්නෙ නෑ ඇයි කියල.. හිතට ආපු ලොකු දුකකට හීන් දොලේ ගල් දෙබොක්කාව අස්සට පැනල මන් හොදටම ඇඩුව. මම රෑට පාඩම් කරද්දි අක්ක මේසෙ ලග ඉදගෙන බලෙන්ම මට බත් ගුලි කවනව. අක්කට හිටපු එකම නෑය මම. ඒත් අක්කගෙ සෙනෙහස මට මහා ලොකු බරක් වුනා. අක්ක යට ලීයෙ එල්ලිල ඒ මේ අත පැද්දි පැද්දි ඉන්නකොට මට දැනිච්ච හැගීම වෙන්කරන්න මට පුලුවන් වුනේ නෑ. අක්ක පුන්චි කාලෙ සුදු ගවුම ඇදල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙල අම්මට කියල කොන්ඩෙ පීරගත්තු හැටි මට මතක් වුනේ අක්කගෙ මිනියට අන්දල තිබුන සාරිය දැකල. මගේ අක්ක ගොඩක් ලස්සනයි. ඒත් ඒ ලස්සනම අක්කව අරන් ගියා. මම ගොඩක් ඇඩුව. මගෙ අම්මටයි තාත්තටත් ඇහෙන්න එක්කම. ඒත් මගේ සුදු අක්කවත් මං දිහා හැරිල බැලුවෙ නෑ. අක්කව පුච්චපු දවසෙ මට මහා පාලුවක් දැනුන. ආයෙත් මට නින්ද යනකන් ඔලුව අතගාන්න.. ගේ වටේ මට ගගහ එලවන්න කවුරුවත් නෑ කියල මට දැනුනෙ ගොඩක් දවස් ගිහිල්ල..... ඉසිබැද්දට මම ආවෙ ඊට අවුරුදු පහකට විතර පස්සෙ. අන්තිමට මට එන්න සිද්ද වෙලා තිබිච්ච තැනට මම ආව. ගේ පුරාවටම තිබිච්ච අක්කගෙ සුවද මගෙන් දිය වෙලා ගියේ ලෙන පහල හීන් සැරේට ගලාගියපු දොල පාරත් එක්ක. මහා බරක් වගේ දැනිච්ච අක්කගෙ ලෙන්ගතු කමට ඔහේ ගලන්න ඉඩ දුන්න. ඒත් සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන."