Tuesday, October 19, 2010

මුල්ම පිකට් එක

මතකයි මුලින්ම පිකටින් එකකට ගිය හැටි. ඒකට ගියා නෙවි යැවුනා. හත වසරෙදි විතර ඈති. ඉන්ටවල් එකෙන් පස්සෙ සාමාන්‍ය විදියට පාඩම් පටන් ගත්තෙ නෑ. පෝස්ටර් බැනර් උස්සන් ලොකු උන් දොලහෙ දහතුනේ උන් එලියට ආව. මල්ලි නංගි වරෙල්ල කිවුව. අපිත් ගියා. උන් කෑ ගහුව. අපිත් කෑ ගැහුව. මේකට මුල පිරුවෙ ඒ කාලෙ අපේ ඉස්කෝලෙ අවට හිටපු ඈමතියෙක් අපේ මැඩම්ව ඉස්කෝලෙන් එලියට දාපු එක. හේතුව තමයි ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේට මැඩම්ගෙ යාලුවෙක් වෙච්ච විරුද්ද පක්ෂයෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී තුමෙක් ප්‍රධාන ආරාදිතය හැටියට සම්බන්ධ වීම. කොහොමටත් ඒ මනුස්සයට උත්සවේ ඉවර වෙලා එලියට බහින්න හම්බුනේ නෑ. වෑන් එකකින් ආපු මැරයො ටිකක් අපේ ඉස්සරහදිම ඒ මනුස්සයට ගැහුව සතෙකුට වගේ. මට තවම හොදට මතකයි මැරයො ටික ගේම දීල ගියාට පස්සෙ ඒ මනුස්සය පිට්ටනිය මැද කවුදෝ තියපු පුටුවක වාඩි වෙලා අමාරුවෙන් හුස්ම අරගෙන මැඩම්ගෙන් අහනව අනේ මැඩම් මාව ගෙන්නුවේ මේකටද කියල. මොනව වුනත් පිකට් එක සාර්ථක වුන් නෑ. දැන් වෙන හැම පිකට් එකක්ම වගේ. අන්තිමට පේන්න හිටපු සංවිධායකයොන්ට ඒ කියන්නෙ අපේ ලොකු උන්ට තවත් සෙට් වලින් හම්බානෙක හම්බෙල තිබුන. ඒත් මම උන්ට අද ගරු කරනව. උන් කාගෙවත් බලල් අත් උනාද කාටවත් කඩේ ගියාද කියල මම දන්නෙ නෑ. මගේ දැනුමෙ හැටියට නම් එහෙම වෙන්න තිබිච්ච සම්භාවිතාව අඩුයි. කොහොම හරි උන් ටික අනිවාර්යෙන්ම ගේම හම්බෙන බව දැන දැනත් වැඩක් කරා. ඇස් පනාපිට වෙච්ච අසාධාරනේට විරුද්ධව වැඩක් කරා. ප්‍රථිපල රහිත බැව් දැන දැන හෝ දැනෙන වැඩක්. මම මේක මෙච්චර වර්ණනා කරන්නෙ අද කාලෙ තියෙන පිකට් උද්ගෝෂණ එක්ක බැලුවම ඒක කැපිල පේන නිසා. ඇත්ත අදත් අසාධරනේට විරුද්ධව කෑ ගහනව. හැබැයි එතන වෙන්නෙ සෝද සෝද මඩේ දාන වැඩක්. ආණ්ඩුවට බනිනව, පොලීසියට බනිනව. මොන ස්වාදීන නම් තිබුනත් තවත් බලයෙ ඉන්න තවත් එකෙක් ඇවිත් විනාඩි දෙකකට එතනට මූණ දාල ලකුණු දාගන්නව. තව පිකට් එකක් තියෙන්කන් බලන් ඉන්න ගොයියොත් හතර පැත්තෙන් එනව. මොකද ඒව නැත්තන් පැවැත්මකුත් නැති හින්ද. ඇත්ත අසාධාරණෙ එහෙමමයි. ඒක දැනෙන්නෙ අසාධාරණයට මූණ දුන්නු එකාට විතරයි. කෑ ගහන්න ඕන. මිනිස්සු දැනුවත් කරන්න ඕන. පාලකයොන්ට දන්වන්න ඕන තමයි. ඒත් වැඩක් වෙලා තියෙනවද.. අන්තිමට ගල්, ලී, බැටන්, කදුලු ගෑස්, වතුර හා ලේ. දැන් නම් තේරෙන විදියට උද්ගෝෂණ කියන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදෙ ඇතුලෙ මිනිස්සු ගිලපු තවත් ලනුවක්. උගුර ලේ රහ වෙනකන් කෑ ගහනව. ඕන ප්‍රතිපල නෑ. පාලකයොත් මිනිස්සුන්ව ඒ තත්වෙට ඈදල දාල බලයෙ එල්ලිල ඉන්න ප්‍රශ්න නිර්මාණය කරගන්නව. තත්වෙ ඕකයි.