Friday, July 16, 2010

වේලිලා ගියපු තෙතමනය

"කෝ ඔය මැදින් ඉස්සරහට යන්න.. ඔය මැද හිරකරගෙන ඉන්න මහත්තය පොල්ල අතෑරල ඉස්සරහට යන්න.. දෙපැත්තෙ අය පැත්තට වෙලා ඉඩ දෙන්න.. ඔය ඉස්සරහ ඉඩ තියෙනවනෙ.. ඉස්සරහට යන්න.. ඉස්සරහට යන්න.. නෝන කොහාටද..කෝ ඉස්සරහින් නැගපු අය සල්ලි ගන්න.. මල්ලි දොරෙන් උඩට නගින්න.. යන්න බැරිනම් බහින්න.."

පව්කාර හැත්ත.. යකෝ අපට නිදහසේ බස් එකේවත් යන්න නැද්ද...අර්ජුන දෑතින්ම හිස බදා ගති. බුර බුරා ඉහල දුවන ගින්දර, තැලෙන උනුවෙච්ච ගිනියම් වෙච්ච යකඩ, ටාං ටාං සද්දෙ, ආචාරියගෙ උඩම කෙස් ගහේ ඉදල බේරෙන දාඩිය වතුර.. මේ සේරම අර්ජුනගෙ ඔලුව ඇතුලෙ.

"තාත්ති....අද හවස වැඩ ඇරිල එනකොට මට කාර් එකක් ගේන්න හොදේ..අනේ තාත්ති.. හොද තාත්තිනෙ..."
පුංචි දූගෙ හුරතල් වචන. නිශානි ඕනවට එපාවට මූනෙ අතුල්ලපු පවුඩර් මූනෙ හැමතැනම.



"අර්ජුන අද දූව ගන්න යන්න.. මට හදිසි මීටින් එකක්.."

රිසීවරය පහලට ගියේ යකඩෙ තලන මිටියටත් වඩා වේගෙන්.

"අර්ජුන ඩී බ්‍රාන්ච් එකේ එකවුන්ට්ස් අද ඉවර කරන්න ඕන.."
උදේ කොම්පැනියට ගොඩවෙද්දිම ලොක්ක කියගෙන ගිය.

"මහත්තය අද තේකත් බීල නෑනෙ.. මොකද අසනීපයක්ද..."
මයිකල්ගේ කැහැටු හිනාව අදත් එහෙමමය. දකුනු ඉනෙන් කලිසමට යට කරපු ෂර්ට් එක ඉහලට එසවී තිබෙන අයුරු දකුණු අතින් දරා ගෙන සිටි හිස් තේ කෝප්ප සහිත ට්‍රේ එක යටින් අර්ජුන දිටීය. අර්ජුන අසුනෙන් නැගිට කාමරය පුරා ඔහේ ඇවිදින්නට විය. කොතනද සැනසිල්ලක් තියෙන්නෙ..... නිදහස.... කෝ කොහෙද.... හැම පියවරකදිම ඔහු විපරම් කලේය.

එකෙක්ගෙ කකුල් ගැට ගහල ඌව පරද්දන්න යන්න හදනකොට ඌ බිමට පෙරලුනේ තවත් එකෙක් ඌට හොරෙන් උගෙ කකුල් වලටත් මාංචු දාල තිබුන නිසා. මිනිස්සු අද ජීවත් වෙන්නෙ එහෙමයි. මුලින් ලග ඉන්න උන්ගෙ දාඩිය මාන්සිය උරල බොනව. ඊට පස්සෙ ඇග විකල ලේ උරල බොනව. අන්තිමේදි මස් ටිකයි.. ඊටත් එහාට ගියාම ඇටකටු.. ලේ.. නහර..බඩ වැල්.........

"සහෝදරය ඔව්ව තමයි ධනවාදී සමාජ ක්‍රමයක මූලිකම ලක්ෂණ.." විජේගෙ කට හඩ ඔලුව ඇතුලෙ ලවුඩ්ස් පීකර් දාගෙන කෑගහනව. රජයේ මුර දේවතාවුන්ට පිං සිද්ද වෙන්න අද ඒ සද්දෙ ජීවමාන නෑ. ඒ උගේ නිර්භීත කමට ස්වාධීන, නිදහස් වුන එකට හම්බවුන වීර සම්මානෙ. අනික උන්ට කඩේ යන්න ඌ ගාව ලොකු මල්ලක් තිබුනෙත් නෑ.

"අර්ජුන ඊයෙ රතු බිල ඇවිත් තිබුන.. ආ ඒක නෙවෙයි පුතාගෙ ශිෂ්‍යත්ව පන්තියට අද ෆීස් දෙන්න ඕන..."
මේසෙ උඩ තිබිච්ච ෆයිල් වල කොල ගැලවිල ඇවිල්ල අර්ජුනගෙ වටේ භ්‍රමනය වෙනව. අර්ජුනට ඉස්සරහ පේන්නෙ නෑ. ඔහේ ඇවිදිනව. නෑ නෑ එහෙම වෙන්න බෑ. අර්ජුනව ඇවිද්දවනව.. විජේ හැමතිස්සෙම "උන්" කියල හදුන්නපු කට්ටියක්.

මිනිස්සු ජීවත් වෙන්නෙ කාන්තාරෙක. වතුර නෑ. තෙතමනය ඇත්තෙම නෑ. වතුර හොයල දෙන්න වීර්ය වඩන සාන්තුනායකයො නෑ. මිනිස්සු වැලි වතුර කරන්න පොලවෙ දණ ගහගෙන වැලි මිරිකනව. මිරිගු පස්සෙ දුවනව.

"උඹ ඉස්සර උනා වැඩියි" අර්ජුනගෙ හිත කෑගානව. බස් රථයේ කොන්දොස්තරවරයාට බැණ වැදීම ගැන අර්ජුනට තරමක පසුතැවිල්ලක් දැනින.

ඇත්ත.. විජේ කිව්ව ඇත්ත.. මිනිසුන්ගෙ හිත් වල තෙතමනය තියෙනව..කොහේ හරි කොනක.. ඈතට වෙන්න. ඒත් සල්ලි හොයන්න මිනිස්සු ගොඩක් දුර ගිහින්. තෙතමනය දාල ගිහිල්ල. අපි මිනිස්සුන්ව ආපහු හරවන්න ඕන. උන්ගෙ හිත්වල තෙතමනය හොයං යන්න. ඒ සමාජවාදියො හැමදාම දැකපු හීනෙ. ඒත් ඇත්ත ලෝකෙදි ඒ හීන ගොලු වෙලා. නෑ සල්ලි එහෙමත් නැත්තං සල්ලි මවන "උන්" මිනිස්සුන්ට හීන දකින්න තහනම් කරල. අපේ ඇස් වලින් "උන්" උන්ගෙ හීන බලනව. අපි අපේ ඇස් "උන්"ට බද්දට දීල අදුරට දත නියවනව. ආයෙත් විජේ කෑගහනව.

"ධනපති සමාජ ක්‍රමයක් අපිට උරුම කරල දීල තියෙන්නෙ මෙච්චරයි.. තොපි ඒකෙ වහල්ලු.. අපිට ජීවිත නෑ... ආත්ම නෑ... තියෙන්නෙ විකිණෙන මස් තොගයක් විතරයි...."

ඒ කොන්දොස්තර මහත්තයටත් දරුවො ඇති. දරුවොන්ගෙ ලෝකෙ සරලයි. උන්ට තාත්ත කරන රස්සාවෙන් වැඩක් නෑ.

"තාත්ති මට උපන් දිනේට තෑග්ගක් දෙනව නේද..." චූටි දුවගෙ සද්දෙ ආයෙම සැරයක්.

තව ඒ මනුස්සයට ගෙවල් කුලී ගෙවන්න ඕන ඇති. වතුර බිල්.. ලයිට් බිල්.. සේරම කරල නෝනගෙන් බැනුම් අහන්නත් ඕන ඇති. තමන්ගෙ පවුල සතුටින් තියන්න ආස ඇති.. හවස ගෙදර යද්දි පොඩි උන්ට කන්න රස දෙයක් අරන් යන්න. නෝනට මාලයක් අරන් දෙන්න......නලල දෙපැත්තෙ නහර පුප්පගෙන.. මූණ ලේ රතු පාට කරගෙන.. දාඩිය බිංදු අස්සෙ හොරෙන් කදුලු කැට වක්කරගෙන.. අනේක විද කෙනෙහිලි කම් මැද තොරතෝංචියක් නැතිව ඒ මනුස්සය කෑගහන්නෙ ජීවත් වෙන්න. බඩගින්නට කන්න හොයාගන්න. තව ජීවිත දෙක තුනක් ජීවත් කරවන්න. හෙට දවස ලස්සනයි කියල හිතාගෙන 'හෙට' අල්ලන්න දුවනව. ඒත් 'හෙට' දවසින් දවස ඈතට යනව.
ඊලග දවසෙ බස් එකේදි කරබාගෙන මැදින් ඉස්සරහට යද්දි අර්ජුනට ආයෙත් විජේව මතක් උනා.

"අපි හැමෝම කරන්නෙ එකම දේ.. හැබැයි විදිය වෙනස්.. ඒ විදිය ගැන බලල "උන්" සමාජ තල හදා ගත්ත. උන් ඒවයෙ උඩටම නැග්ග. හැබැයි උන්ට මුල අමතක උනා.....මොකක්ද..............හැමෝම දත කන්නෙ හෙට දවසෙත් ජීවත් වෙන්න බව....."

කැම්පස් එක ඉස්සරහින් බස් එක යද්දි අර්ජුන පහත් වෙලා ජනේලෙන් එලියට එබුණෙ විජේල ඉන්නවද කියල බලන්න...............නෑ..........ඒකත් වේලිල ගිහිල්ල...