Monday, November 8, 2010

ifo++, VC, විශ්ව විද්‍යාල හා මාධ්‍ය

තවමත් ලාංකේය නිදහස් අධ්‍යාපන ක්‍රමයේ උපරිමය විශ්ව විද්‍යාලයය. එය බහුතර පිළිගැනීමය. නමුත් සැබැවින්ම විශ්ව විද්‍යාලය සැබෑ අර්ථයෙන් ප්‍රජාව හදුනන්නේද? විශ්ව විද්‍යාලය යනු උපාධි සහතිකයක් පමණක් දෙන ආයතනයක් පමණක්ද? සැබෑ ලෙසම විශ්ව විද්‍යාලයකින් ඉටු විය යුත්තේ කුමක්ද? විශ්ව විද්‍යාලයෙන් සමාජයට ඉටුවිය යුත්ත වී ඇත්ද? වගකිවයුත්තන්, පාලකයන් ඇතුළු බහුතර ප්‍රජාව එය දන්නේද? විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් අනේක ප්‍රවෘත්ති නිර්මාණය වන මෙවන් සමයක විශ්ව විද්‍යාලයක සැබෑ අරුත තෝරා බේරා ගැනිය යුතුව ඇත. මෙයද වර්තමාන විශ්ව විද්‍යාල ක්‍රමය පිළිබද කෙරෙන අර්ථ දැක්මකට පූර්ව උත්සාහයක් වනු ඇත.

Friday, October 29, 2010

සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන

"ඒ හරිම ලස්සන පරණ වෙච්ච දවස් ටිකක්. මතකෙ හාර හාර එලියට වක්කරනකොට, ගම් මූකළානෙන් එහාට වෙන්න තිබුන ගමේ පන්සලේ පෝයට පත්තු කරපු හදුන්කූරු සුවදයි, අක්ක වැඩ කරපු රබර් කෑල්ලෙ මැද තිබුන පොඩි ස්ටෝරුවෙ දුමේ දාල තිබිච්ච රබර් වල සුවදයි ඇරෙන්න මට තාමත් දැනෙන තරම් මතකයක් තියෙන්නෙ මගෙ අක්කගෙ සුවද විතරයි. යන්තං දෙමලිච්චො පිලිකන්න පැත්තෙ කෑගහගෙන එනකොට අක්ක මාව කූද්දල ඔලුව අතගාල ඉක්මනට දුවල යන්නෙ උදේ නම් ලකුණු කරන තැනට වෙලාවට යාගන්න ඕන හන්ද. මට මතකයි අක්කගෙ ඇස්වල තිබිච්ච කදුලු. ඒව මගෙන් හැංගෙන්න හදපු හැටි. ඇස් වැහෙන තරමට ඇස් අකුලුවගෙන හීන් හිනාවක් කම්මුල් දෙපැත්තෙ ගෙනියනකොටත් අක්කගෙ ඇස් මට පෙන්නුවෙ අම්මගෙ ආදරේද කියල මට හිතිච්ච වාර ගාන අනන්තයි. මම ශිෂ්‍යත්වෙ ලියන්න යන්න එලියට බහිද්දි අක්ක මගේ නලල ඉම්බ හැටි මගෙ මල්ලියෙ කියල ඉතිරි ටික ගිල්ල හැටි මගේ කදුලු මට ඉස්සර වෙන්න ඉස්සර මම කඩුල්ල පැන්න හැටි මට හොදට මතකයි. දන්නෙ නෑ ඇයි කියල.. හිතට ආපු ලොකු දුකකට හීන් දොලේ ගල් දෙබොක්කාව අස්සට පැනල මන් හොදටම ඇඩුව. මම රෑට පාඩම් කරද්දි අක්ක මේසෙ ලග ඉදගෙන බලෙන්ම මට බත් ගුලි කවනව. අක්කට හිටපු එකම නෑය මම. ඒත් අක්කගෙ සෙනෙහස මට මහා ලොකු බරක් වුනා. අක්ක යට ලීයෙ එල්ලිල ඒ මේ අත පැද්දි පැද්දි ඉන්නකොට මට දැනිච්ච හැගීම වෙන්කරන්න මට පුලුවන් වුනේ නෑ. අක්ක පුන්චි කාලෙ සුදු ගවුම ඇදල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙල අම්මට කියල කොන්ඩෙ පීරගත්තු හැටි මට මතක් වුනේ අක්කගෙ මිනියට අන්දල තිබුන සාරිය දැකල. මගේ අක්ක ගොඩක් ලස්සනයි. ඒත් ඒ ලස්සනම අක්කව අරන් ගියා. මම ගොඩක් ඇඩුව. මගෙ අම්මටයි තාත්තටත් ඇහෙන්න එක්කම. ඒත් මගේ සුදු අක්කවත් මං දිහා හැරිල බැලුවෙ නෑ. අක්කව පුච්චපු දවසෙ මට මහා පාලුවක් දැනුන. ආයෙත් මට නින්ද යනකන් ඔලුව අතගාන්න.. ගේ වටේ මට ගගහ එලවන්න කවුරුවත් නෑ කියල මට දැනුනෙ ගොඩක් දවස් ගිහිල්ල..... ඉසිබැද්දට මම ආවෙ ඊට අවුරුදු පහකට විතර පස්සෙ. අන්තිමට මට එන්න සිද්ද වෙලා තිබිච්ච තැනට මම ආව. ගේ පුරාවටම තිබිච්ච අක්කගෙ සුවද මගෙන් දිය වෙලා ගියේ ලෙන පහල හීන් සැරේට ගලාගියපු දොල පාරත් එක්ක. මහා බරක් වගේ දැනිච්ච අක්කගෙ ලෙන්ගතු කමට ඔහේ ගලන්න ඉඩ දුන්න. ඒත් සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන."

Wednesday, October 27, 2010

මේ කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල


මේකත් මම ලියන්න පෙරුම් පිරුව තවත් එක කතාවක්. එක එක තැන්වල පිනුම් ගහන වෙන හිත එක තැනක නවත්තල යන්තම් ලියන්න පටන් ගන්නව. මේ කතාව ඒලෙවල් ඉවර කරල රිසල්ට් එනකන් ගෙදර හිටපු කොල්ලෙකුගෙ කතාවක්. කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල. දුක බලපවතින ක්ෂේත්‍රවල සීමාවන් නැති නිසා කවුරු හරි තර්ක කරාවි මේකට මේ නම දැම්මට හැම දේටම මේ කලාව හරියන්නෙ නෑ කියල. ඒත් තර්ක විතර්ක උඹලටම බාරයි.

Tuesday, October 19, 2010

සමාවෙයං මට

සමාවෙයං මට
එදා රෑ පන්සලේදි දීපු උත්තරේට
මතකයි මට
නැහැ උඹට පුලුවන් වුනෙ දරාගන්න
කලුවරට උඹේ කදුලු නෑ දැක්කෙ
ඒත් මූණ පහලට එබෙනව දැක්ක
උඹ උන් තැන්ම වාඩි වෙනව දැක්ක
උඹෙයි වැරැද්ද
ආදරේ කියන්නෙ ලස්සන කියල හිතන් හිටපු කාලෙක
මගෙන් ආදරේ ඉල්ලුවට
දැනුනෙ නෑ උඹේ දුක
මම ඒක විදිනකන්
සිද්ද වෙලා ඉවරයි ඒක
කොහොමටත් මතක නෑ මට නුඹව
කොච්චර කාලයක් ගෙවුනද
තේරුම් ගන්න මට
වැඩියෙන් වටින්නෙ
තමන්ට ආදරේ කරන අය තමන් ආදරේ කරන අයට වඩා කියල
සාප කරන්න එපා කෙල්ලෙ මට
විදින දුක වැඩියි මම..
සමාවෙයං මට

මුල්ම පිකට් එක

මතකයි මුලින්ම පිකටින් එකකට ගිය හැටි. ඒකට ගියා නෙවි යැවුනා. හත වසරෙදි විතර ඈති. ඉන්ටවල් එකෙන් පස්සෙ සාමාන්‍ය විදියට පාඩම් පටන් ගත්තෙ නෑ. පෝස්ටර් බැනර් උස්සන් ලොකු උන් දොලහෙ දහතුනේ උන් එලියට ආව. මල්ලි නංගි වරෙල්ල කිවුව. අපිත් ගියා. උන් කෑ ගහුව. අපිත් කෑ ගැහුව. මේකට මුල පිරුවෙ ඒ කාලෙ අපේ ඉස්කෝලෙ අවට හිටපු ඈමතියෙක් අපේ මැඩම්ව ඉස්කෝලෙන් එලියට දාපු එක. හේතුව තමයි ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේට මැඩම්ගෙ යාලුවෙක් වෙච්ච විරුද්ද පක්ෂයෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී තුමෙක් ප්‍රධාන ආරාදිතය හැටියට සම්බන්ධ වීම. කොහොමටත් ඒ මනුස්සයට උත්සවේ ඉවර වෙලා එලියට බහින්න හම්බුනේ නෑ. වෑන් එකකින් ආපු මැරයො ටිකක් අපේ ඉස්සරහදිම ඒ මනුස්සයට ගැහුව සතෙකුට වගේ. මට තවම හොදට මතකයි මැරයො ටික ගේම දීල ගියාට පස්සෙ ඒ මනුස්සය පිට්ටනිය මැද කවුදෝ තියපු පුටුවක වාඩි වෙලා අමාරුවෙන් හුස්ම අරගෙන මැඩම්ගෙන් අහනව අනේ මැඩම් මාව ගෙන්නුවේ මේකටද කියල. මොනව වුනත් පිකට් එක සාර්ථක වුන් නෑ. දැන් වෙන හැම පිකට් එකක්ම වගේ. අන්තිමට පේන්න හිටපු සංවිධායකයොන්ට ඒ කියන්නෙ අපේ ලොකු උන්ට තවත් සෙට් වලින් හම්බානෙක හම්බෙල තිබුන. ඒත් මම උන්ට අද ගරු කරනව. උන් කාගෙවත් බලල් අත් උනාද කාටවත් කඩේ ගියාද කියල මම දන්නෙ නෑ. මගේ දැනුමෙ හැටියට නම් එහෙම වෙන්න තිබිච්ච සම්භාවිතාව අඩුයි. කොහොම හරි උන් ටික අනිවාර්යෙන්ම ගේම හම්බෙන බව දැන දැනත් වැඩක් කරා. ඇස් පනාපිට වෙච්ච අසාධාරනේට විරුද්ධව වැඩක් කරා. ප්‍රථිපල රහිත බැව් දැන දැන හෝ දැනෙන වැඩක්. මම මේක මෙච්චර වර්ණනා කරන්නෙ අද කාලෙ තියෙන පිකට් උද්ගෝෂණ එක්ක බැලුවම ඒක කැපිල පේන නිසා. ඇත්ත අදත් අසාධරනේට විරුද්ධව කෑ ගහනව. හැබැයි එතන වෙන්නෙ සෝද සෝද මඩේ දාන වැඩක්. ආණ්ඩුවට බනිනව, පොලීසියට බනිනව. මොන ස්වාදීන නම් තිබුනත් තවත් බලයෙ ඉන්න තවත් එකෙක් ඇවිත් විනාඩි දෙකකට එතනට මූණ දාල ලකුණු දාගන්නව. තව පිකට් එකක් තියෙන්කන් බලන් ඉන්න ගොයියොත් හතර පැත්තෙන් එනව. මොකද ඒව නැත්තන් පැවැත්මකුත් නැති හින්ද. ඇත්ත අසාධාරණෙ එහෙමමයි. ඒක දැනෙන්නෙ අසාධාරණයට මූණ දුන්නු එකාට විතරයි. කෑ ගහන්න ඕන. මිනිස්සු දැනුවත් කරන්න ඕන. පාලකයොන්ට දන්වන්න ඕන තමයි. ඒත් වැඩක් වෙලා තියෙනවද.. අන්තිමට ගල්, ලී, බැටන්, කදුලු ගෑස්, වතුර හා ලේ. දැන් නම් තේරෙන විදියට උද්ගෝෂණ කියන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදෙ ඇතුලෙ මිනිස්සු ගිලපු තවත් ලනුවක්. උගුර ලේ රහ වෙනකන් කෑ ගහනව. ඕන ප්‍රතිපල නෑ. පාලකයොත් මිනිස්සුන්ව ඒ තත්වෙට ඈදල දාල බලයෙ එල්ලිල ඉන්න ප්‍රශ්න නිර්මාණය කරගන්නව. තත්වෙ ඕකයි.

Monday, October 18, 2010

නුඹට අකැපයි ඒව

පාර දෙපැත්තෙ කඩ සාප්පු
සෙල්ලම් බඩු පිරිල
එක එක විදියෙ එව්ව, අරුමෝසම් එව්ව
නොබලන් පුතේ නුඹට අකැපයි ඒව

උස ගේට්ටු ඈරිල වැහෙනකොට
තණ පිට්ටනි, පොකුණු, ලොකු ගෙවල්
ලස්සන ඒව
නොබලාපන් නුඹට අකැපයි ඒව

කටු කම්බි වලට එහා පැත්තෙ
සුදු ඈදුම් ඈදල, සපත්තු දාපු අයියල
දුවනව, හිනාවෙනව ඉගෙනත් ගන්නවලු
ඒත් පුතේ නුඹට අකැපයි ඒව

අර ලොකු කඩේ
වීදුරු ඈතුලෙ පෙට්ටිවල
පින්තූර කතා කරනව, ඈවිදිනව
පුදුමයි ඒත් අකැපයිලු ඒව

කාලෙ ගෙවුනට රස්සා කරාට
පොඩි දවස් වල හීන වල තිබිච්ච
ලොකු ඉස්කෝල, ගෙවල්, කාර්
නොහිතන් පුතේ උඹ්ට අකැපයි ඒව

සුදු පාට මූනු ලස්සන ඈස්
ඉදල හිටල කාර් වීදුරුවෙන් දැක්කට බැලුවට
වරු ගනන් රවුම් ගැහුවට
අලුත් හීන වල එයත් එක්ක
නොපතන් පුතේ උඹ්ට අකැපයි ඒව

Wednesday, October 13, 2010

විශිෂ්ට වු අත්දෑකුමකින් පසු ලියමි....

එය එසේ නිමාවිය. නමුත් මතකයට ගැබ් ගත් මිහිරියාව සදා පවතිනු ඇත. ඒ සිතිවිලිවල නිර්මාපකයෝ නුඹලාගේ අසීමිත කැපකිරීම් වල ප්‍රතිපලයෝය. වෙනෙකුගේ වින්දනය, තෘප්තිය, සතුට උදෙසා කල ඒ අනගි කැපකිරුම අගය කිරීමට උත්සාහ ගනිමි. කිමද එය වචන වලින් විස්තර කෙරුම ඵල රහිත බැවිනි. තවත් වචන නැති කල කෙටියෙදුමකින් සැමට "ස්තූති" කර සටහන කෙටියෙන් අවසන් කරමි.

(UCSC පැදුරු සාජ්ජය වෙනුවෙනි.)

Tuesday, October 5, 2010

ඈ වෙර දැරූ තරම්
ඇගේ ඇස් මගේ හා යා නොකරන්නට
ඈ වෙර දැරූ තරම්
ඇගේ උරණැස් උනුන්ගෙන් සගවන්නට
ඈ වෙර දැරූ තරම්
ඇගේ කළු තොල් නිසල කරන්නට
මා වෙර දැරූ තරම්
ඇගෙ වුවන සිත්තම් කරගන්නට
බැස යන්න ලගයි හැරියන් මතකෙට නුඹ ගන්නට

Monday, October 4, 2010

"අනේ!.. දැන් කොහොමද ඉස්කෝලෙට යන්නෙ..
මිස් හොදටම බනීවි..
සුදු ගවුමෙ උඩ ඉදලම මඩ
කමක් නෑ..
පන්තියට යන්න කලින් ටැප් එකෙන් හෝද ගන්නව
මෝඩයෙක්නෙ ඒක මහ
නෑ..
ඒ මහත්තයට මාව පෙනුනෙ නැතිව ඇති.."

Sunday, July 18, 2010

සැලසුම

ටකරන් ටක් ටක් ගාල සද්ද කරන කොට
ලැටිස් අස්සෙන් වැදෙන හිරිකඩ වලට ගුලිවෙලා
තට්ටම් වලට දැනෙන පොලවෙ සීතල නිසා
ඇගේම හිරිගඩු පිපිල
වටේ තියෙන හිරිකිතට මූණ ඇඹුල් වෙලා
නින්දත් එක්ක ගහ මරාගෙන
වැහි වතුරට බයේ ඇස් ඇරගෙනම ඉන්නකොට
අපේ මිනිස්සුන්ගෙ දාඩිය මාන්සියෙන්
මන්දිර වල රජ කරන උන්ගෙ
ඉරණම විසදන්න සැලසුම් හදන්න
හිතෙන එක
මහ ලොකු වරදක්ද....

Friday, July 16, 2010

වේලිලා ගියපු තෙතමනය

"කෝ ඔය මැදින් ඉස්සරහට යන්න.. ඔය මැද හිරකරගෙන ඉන්න මහත්තය පොල්ල අතෑරල ඉස්සරහට යන්න.. දෙපැත්තෙ අය පැත්තට වෙලා ඉඩ දෙන්න.. ඔය ඉස්සරහ ඉඩ තියෙනවනෙ.. ඉස්සරහට යන්න.. ඉස්සරහට යන්න.. නෝන කොහාටද..කෝ ඉස්සරහින් නැගපු අය සල්ලි ගන්න.. මල්ලි දොරෙන් උඩට නගින්න.. යන්න බැරිනම් බහින්න.."

පව්කාර හැත්ත.. යකෝ අපට නිදහසේ බස් එකේවත් යන්න නැද්ද...අර්ජුන දෑතින්ම හිස බදා ගති. බුර බුරා ඉහල දුවන ගින්දර, තැලෙන උනුවෙච්ච ගිනියම් වෙච්ච යකඩ, ටාං ටාං සද්දෙ, ආචාරියගෙ උඩම කෙස් ගහේ ඉදල බේරෙන දාඩිය වතුර.. මේ සේරම අර්ජුනගෙ ඔලුව ඇතුලෙ.

"තාත්ති....අද හවස වැඩ ඇරිල එනකොට මට කාර් එකක් ගේන්න හොදේ..අනේ තාත්ති.. හොද තාත්තිනෙ..."
පුංචි දූගෙ හුරතල් වචන. නිශානි ඕනවට එපාවට මූනෙ අතුල්ලපු පවුඩර් මූනෙ හැමතැනම.

Wednesday, July 14, 2010

රටට අහිමි වෙච්ච කිරිගොවියෙක්.....

මට මතක හැටියට ඒ අට වසර නැත්නම් නවය වසර. මගේ වමත පැත්ත මේසෙ හිටියෙ කුමාර. මිනිහ නලල දෙපැත්තෙ බේරෙන්න තරම් තෙල් නාගෙන ඉස්කොලෙ ආවෙ උඩට කූරු කූරු වගෙ ඉස්සිල තිබිච්ච කොන්ඩෙ හදාගෙන ඌට වැදිල තිබුන ඉත්තෑව කාඩ් එකෙන් ගැලවෙන්න. පුලුවන් හැමවෙලාවෙම කලිසමේ පිටිපස්ස සාක්කුවෙ හිරකරගෙන හිටපු ඒ කාලෙ රුපියල් පහට තිවුන මැදගිල්ල දාල අල්ලගෙන පීරන්න පුලුවන් පනාවෙන් කොන්ඩෙ පීරගත්ත. පුටුවෙන් නැගිනකොට ෂර්ට් එකේ බැගී හදාගන්නත් මිනිහ අමතක කරේ නෑ.