Sunday, May 20, 2012

බොදු කැළ

මල් දුම් සුවද එළි පැන් පුදා කර ගසා වඩා සද්ධා නැතිව විමසා බොදු කැළ
වැද පුද සෙත් පතා සිත කර ධන ලොබා බෝ පූජා නැතිව පීරා අමා දම් ගුල
වඩන පින් කිමා යන්ට තවුතිසා කල් දමා නිවන වැඳ ඉඹ නෙක අකැප ගොන් කැළ
ලීමි දුක්නිසා නැතිව සතොසිනා වෙන්ට යන විපත් බෝ යුද වදියි දැක සිත් තුළ

පසෙක ආඩිද හම්බ සුද්දොද ඇතුළෙ පරයොද එක්ව දියකර හරින ලක පිරි සසුන්
රජුන් ලෙස දන රවටනා නැත කිසි පෙමා මුදලට විනා දැය බුදු වෙතා වැනි උන් පිරින්
කහ රෙදි දරා බුදු දම් ලෙස ගොතා මිසදිටු වදන් රස කර කියා ගුවනින් රැවටෙත් දනන්
ඉතින් කිකළෙක මෙලක වෙද සොද අපා ලෙස මිස තව දුරක් මෙලෙසින් යමින්

මළවුන් මැද මළමිනියක්ව

මළවුන් නම් නුඹමැයි
මිනිය නම් මම්මැයි
ඒ මා සිතුම්මැයි
නමුදු කෙළෙසෙක පවසවැම්වයි

අලුයමට හෝරා ගණන් පෙර සිට
කඩා නිදිමත නොසතුටින ඇර නෙත් දිගැර අතපය
පිස අහර පත කර අස් ගෙයද වැඩ දූ දරු
නොනැවතී දුව යන්නෙ වැඩටයි හතිමැද

"අම්මා" කී විලස ගල් අගුරු වෙත මළ රූ විලස දන එදා
අදටත් සරිය සැම දනා පුර වෙත දුවන රිසි සිහි නැතා
පඩිය ගෙන අතට දිවි නගා තුටු වෙනා දැක දුව දුවා
ඒ සිහිනයක් මිස සැබෑවක් නොව වියදම්ය පඩි එක් දිනා

ඉතින් දන අද
සිහි තුටු නැතිය දිවි තුළ
මළ රූ විලස යන
මම්ද එලෙසමය
දිටිමි කෙළෙසෙකද
දනන් යන එන
දුම්රියෙන් බැස
නගර වැඩ වෙත
නැතිව ලේ වත
මහ මෙර ලෙසින් හිස මත
පෙරල අනෙකා
නැතිව සති ගුණ
මම්ද බැලුවෙමි
කැඩපතින් මා දෙස
සුදුමැලිය වත
සිතුණි මළ මිනියක් වීද මා
මළ දනන් මැද මොහතකට

වැඩ ඇරී සවස යළි දුව යතේ යළි නිවසෙටේ
මෙගා ටෙලි මැද කඩේ බත් මැද සුව සිහින ගැන සිතමිනේ
දූ දරු නෑදෑ අසල්වැසි ප්‍රශ්න විසදා දමමිනේ
නින්ද ලැබුවත් පෑ දෙක තුන යළි ඇහැරෙනේ මළ විලසිනේ

මහා සංවර්ධිතය අද ලෝ
සතුට නිදහස නැතුවටා
මිනිස් දිවි මළවුන් ලෙසින් කර
මිරිගුවක් ලොව කරවනා
සැමදෙනා එය අනුමතා කර හිසවනා
මම්ද එක පුරුකක් පමණක්ම වෙමි
මළවුන් මැදම ඉමි සිත සදා...


Tuesday, May 8, 2012

ඇරයුම් කල්ප නසනටා

කල්ප යුග අවසනා
දින ගණන් ගැන ගැනා
මසිත මම් රවටනා
සියලු සත මට වෙනු සමා

දෙනෙතු වසා සිටිම්ද
කන් අගුලුලා සිටිම්ද
ඈත වන මැද සරම්ද
කෙලෙස ඉවසා සිටිම්ද

කිසි දිස නැත නිවන
කාසි රිසි ලෙස සරන
මෙදිවි කිම අරුත
තෝරන දනන් නැති සද

සැම දනෝ තම ගොඩ නගා
නැත සිතක් අන් සත වෙතා
වඩ වඩා පර සිත් දිගා
නොකරනා පසු පින් වැඩා

නෙක් රජුට වදිමිනා
නැත කිසි කල්හි සිහි මනා
පර බස් බෝ අසමිනා
වැඩූ මර සෙන් සිත් කළඹනා

පුර වර්ධන ලෙසට
නම් කර පවුරු බෝ උස
රුක් දිවි නසන සැර
සියොත් නැත කෝ තුටු ඇසට

ඉදින් මේ ලෝ තුළා
හැකිවෙද ගන්ට දිවි මනා
නැතිකල්හි පිළිතුරා
ඇරයුම් කල්ප නසනටා

Sunday, May 6, 2012

ඒ සරල බව ඔහුට සරල වෙද?


මග කොන පයිප්පය නැගිටියි ඔහු සමග
දිය ඉස පිසදමා නිවසේ දොර පියන ඇර
වහළක් නැති කාමරයේ ඇඳ අයින් කොට
සැරසෙයි අරඹනට දිවි දූවිලි තාර මැද

පේළි පෙට්ටි කඩවල මුල අරඹන්නේ
නිවසත් එයම තනි දිවියත් එහි වෙන්නේ
ඇඳ බංකුවකි වැරහැලි ඇඳ රෙදි වන්නේ
වැලකි කඩ වමත කඩමලු එල්ලෙන්නේ

මිනිසුන් පිරෙයි පොඩි පොඩි බඩු ටික ගන්න
අත මිට පිරෙයි යන්තම් හෙට ගතවන්න
ඉර ගිලෙයි කියමින් වසනට දොර පියන
යළි ඇඳ සැදෙයි විගසින් කෑ අහර පත

වෙන අරුතක් කොහි මෙහැර දිවි සරල
ලෙස වැටහෙන්නෙ දකිනා විට ඔහු මෙමට
නෑහිත මිතුරු අඹු දරුවන් නැත ගෙවන
ඇතිවෙද පලක් වූ පමණින් දිවි සරල

අමතක වුන අපේ අය

උදෙන්ම අම්ම මා පරට දක්කන්නේ
ඇගලා නිලැදුම ඈ සැට්ටය වහ ගන්නේ
ගෙන ඉදල ඉලපත මහ මග ගොඩ වන්නේ
දවසේ ඇරඹුමයි එය මගෙ දිවි කා ගන්නේ

ඉදගෙන අයිනෙ පදිකයොන්ගෙ අඩි පාරේ
ඉල්ලමි මා සිගා යැයි සිතුවෙද නුඹ රාලේ
මෙහෙම ගියොත් නම් එය සිදුවෙයි වාගේ
දෙයියනේ ඇයි මව් මගේ මට පව් දෙන්නේ

ලොකු අයියල අක්කල වගෙ උන් නිතර යන
ලොකු ඉස්කෝලයක්ලු මා පිට දෙන වැටෙන් පැන
සේරම උන්ට මා වැනි හිස කද ඇතිය
මොන වරදටද මා මෙහි සිට උන් යන්න

තාර දුම් දූවිලි අව් වැසි මට හුරුය
මවටද සිහි නැතිය මග කොල රොඩු නැතිය
බඩගිනි වේය සැම විට බණ්ඩියෙ අහර නැත
සොච්චම් මුදල මදි මව්ගේ මට ඉගෙනුමට

කාර් බස් වාහන ලොරි ඉගිලෙන්නේ
යන වේගෙටදො ඇයි අප ගැන නොපෙනෙන්නේ
ඇයි අප ඔබ එකෙක් යයි නුඹ නොසිතන්නේ
ලොකු ඉස්කෝල වල ඔව්වද කියලා දෙන්නේ

ඉද හිට ඇවිත් මගේ පාලුව නැති කරන
ඇග රැළි වැටුන බලු රාලෙකි මා දුක දන්න
ඇසුවෙමි උගෙන් දන්නේදැයි ඔය අකුරු හෙම
කීයේ දනී නම් පැමිනෙද නුඹ ළගට


Monday, November 8, 2010

ifo++, VC, විශ්ව විද්‍යාල හා මාධ්‍ය

තවමත් ලාංකේය නිදහස් අධ්‍යාපන ක්‍රමයේ උපරිමය විශ්ව විද්‍යාලයය. එය බහුතර පිළිගැනීමය. නමුත් සැබැවින්ම විශ්ව විද්‍යාලය සැබෑ අර්ථයෙන් ප්‍රජාව හදුනන්නේද? විශ්ව විද්‍යාලය යනු උපාධි සහතිකයක් පමණක් දෙන ආයතනයක් පමණක්ද? සැබෑ ලෙසම විශ්ව විද්‍යාලයකින් ඉටු විය යුත්තේ කුමක්ද? විශ්ව විද්‍යාලයෙන් සමාජයට ඉටුවිය යුත්ත වී ඇත්ද? වගකිවයුත්තන්, පාලකයන් ඇතුළු බහුතර ප්‍රජාව එය දන්නේද? විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් අනේක ප්‍රවෘත්ති නිර්මාණය වන මෙවන් සමයක විශ්ව විද්‍යාලයක සැබෑ අරුත තෝරා බේරා ගැනිය යුතුව ඇත. මෙයද වර්තමාන විශ්ව විද්‍යාල ක්‍රමය පිළිබද කෙරෙන අර්ථ දැක්මකට පූර්ව උත්සාහයක් වනු ඇත.

Friday, October 29, 2010

සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන

"ඒ හරිම ලස්සන පරණ වෙච්ච දවස් ටිකක්. මතකෙ හාර හාර එලියට වක්කරනකොට, ගම් මූකළානෙන් එහාට වෙන්න තිබුන ගමේ පන්සලේ පෝයට පත්තු කරපු හදුන්කූරු සුවදයි, අක්ක වැඩ කරපු රබර් කෑල්ලෙ මැද තිබුන පොඩි ස්ටෝරුවෙ දුමේ දාල තිබිච්ච රබර් වල සුවදයි ඇරෙන්න මට තාමත් දැනෙන තරම් මතකයක් තියෙන්නෙ මගෙ අක්කගෙ සුවද විතරයි. යන්තං දෙමලිච්චො පිලිකන්න පැත්තෙ කෑගහගෙන එනකොට අක්ක මාව කූද්දල ඔලුව අතගාල ඉක්මනට දුවල යන්නෙ උදේ නම් ලකුණු කරන තැනට වෙලාවට යාගන්න ඕන හන්ද. මට මතකයි අක්කගෙ ඇස්වල තිබිච්ච කදුලු. ඒව මගෙන් හැංගෙන්න හදපු හැටි. ඇස් වැහෙන තරමට ඇස් අකුලුවගෙන හීන් හිනාවක් කම්මුල් දෙපැත්තෙ ගෙනියනකොටත් අක්කගෙ ඇස් මට පෙන්නුවෙ අම්මගෙ ආදරේද කියල මට හිතිච්ච වාර ගාන අනන්තයි. මම ශිෂ්‍යත්වෙ ලියන්න යන්න එලියට බහිද්දි අක්ක මගේ නලල ඉම්බ හැටි මගෙ මල්ලියෙ කියල ඉතිරි ටික ගිල්ල හැටි මගේ කදුලු මට ඉස්සර වෙන්න ඉස්සර මම කඩුල්ල පැන්න හැටි මට හොදට මතකයි. දන්නෙ නෑ ඇයි කියල.. හිතට ආපු ලොකු දුකකට හීන් දොලේ ගල් දෙබොක්කාව අස්සට පැනල මන් හොදටම ඇඩුව. මම රෑට පාඩම් කරද්දි අක්ක මේසෙ ලග ඉදගෙන බලෙන්ම මට බත් ගුලි කවනව. අක්කට හිටපු එකම නෑය මම. ඒත් අක්කගෙ සෙනෙහස මට මහා ලොකු බරක් වුනා. අක්ක යට ලීයෙ එල්ලිල ඒ මේ අත පැද්දි පැද්දි ඉන්නකොට මට දැනිච්ච හැගීම වෙන්කරන්න මට පුලුවන් වුනේ නෑ. අක්ක පුන්චි කාලෙ සුදු ගවුම ඇදල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙල අම්මට කියල කොන්ඩෙ පීරගත්තු හැටි මට මතක් වුනේ අක්කගෙ මිනියට අන්දල තිබුන සාරිය දැකල. මගේ අක්ක ගොඩක් ලස්සනයි. ඒත් ඒ ලස්සනම අක්කව අරන් ගියා. මම ගොඩක් ඇඩුව. මගෙ අම්මටයි තාත්තටත් ඇහෙන්න එක්කම. ඒත් මගේ සුදු අක්කවත් මං දිහා හැරිල බැලුවෙ නෑ. අක්කව පුච්චපු දවසෙ මට මහා පාලුවක් දැනුන. ආයෙත් මට නින්ද යනකන් ඔලුව අතගාන්න.. ගේ වටේ මට ගගහ එලවන්න කවුරුවත් නෑ කියල මට දැනුනෙ ගොඩක් දවස් ගිහිල්ල..... ඉසිබැද්දට මම ආවෙ ඊට අවුරුදු පහකට විතර පස්සෙ. අන්තිමට මට එන්න සිද්ද වෙලා තිබිච්ච තැනට මම ආව. ගේ පුරාවටම තිබිච්ච අක්කගෙ සුවද මගෙන් දිය වෙලා ගියේ ලෙන පහල හීන් සැරේට ගලාගියපු දොල පාරත් එක්ක. මහා බරක් වගේ දැනිච්ච අක්කගෙ ලෙන්ගතු කමට ඔහේ ගලන්න ඉඩ දුන්න. ඒත් සෙනෙහසකට පූජ කරන්න කදුලු අද මන් ගාව නැති විත්තිය මට තේරුන."

Wednesday, October 27, 2010

මේ කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල


මේකත් මම ලියන්න පෙරුම් පිරුව තවත් එක කතාවක්. එක එක තැන්වල පිනුම් ගහන වෙන හිත එක තැනක නවත්තල යන්තම් ලියන්න පටන් ගන්නව. මේ කතාව ඒලෙවල් ඉවර කරල රිසල්ට් එනකන් ගෙදර හිටපු කොල්ලෙකුගෙ කතාවක්. කතාවට මම තියන්න යන නම තමයි දුක දරාගැනීමේ කලාව කියල. දුක බලපවතින ක්ෂේත්‍රවල සීමාවන් නැති නිසා කවුරු හරි තර්ක කරාවි මේකට මේ නම දැම්මට හැම දේටම මේ කලාව හරියන්නෙ නෑ කියල. ඒත් තර්ක විතර්ක උඹලටම බාරයි.

Tuesday, October 19, 2010

සමාවෙයං මට

සමාවෙයං මට
එදා රෑ පන්සලේදි දීපු උත්තරේට
මතකයි මට
නැහැ උඹට පුලුවන් වුනෙ දරාගන්න
කලුවරට උඹේ කදුලු නෑ දැක්කෙ
ඒත් මූණ පහලට එබෙනව දැක්ක
උඹ උන් තැන්ම වාඩි වෙනව දැක්ක
උඹෙයි වැරැද්ද
ආදරේ කියන්නෙ ලස්සන කියල හිතන් හිටපු කාලෙක
මගෙන් ආදරේ ඉල්ලුවට
දැනුනෙ නෑ උඹේ දුක
මම ඒක විදිනකන්
සිද්ද වෙලා ඉවරයි ඒක
කොහොමටත් මතක නෑ මට නුඹව
කොච්චර කාලයක් ගෙවුනද
තේරුම් ගන්න මට
වැඩියෙන් වටින්නෙ
තමන්ට ආදරේ කරන අය තමන් ආදරේ කරන අයට වඩා කියල
සාප කරන්න එපා කෙල්ලෙ මට
විදින දුක වැඩියි මම..
සමාවෙයං මට

මුල්ම පිකට් එක

මතකයි මුලින්ම පිකටින් එකකට ගිය හැටි. ඒකට ගියා නෙවි යැවුනා. හත වසරෙදි විතර ඈති. ඉන්ටවල් එකෙන් පස්සෙ සාමාන්‍ය විදියට පාඩම් පටන් ගත්තෙ නෑ. පෝස්ටර් බැනර් උස්සන් ලොකු උන් දොලහෙ දහතුනේ උන් එලියට ආව. මල්ලි නංගි වරෙල්ල කිවුව. අපිත් ගියා. උන් කෑ ගහුව. අපිත් කෑ ගැහුව. මේකට මුල පිරුවෙ ඒ කාලෙ අපේ ඉස්කෝලෙ අවට හිටපු ඈමතියෙක් අපේ මැඩම්ව ඉස්කෝලෙන් එලියට දාපු එක. හේතුව තමයි ඉස්කෝලෙ නිවාසාන්තර ක්‍රීඩා උත්සවේට මැඩම්ගෙ යාලුවෙක් වෙච්ච විරුද්ද පක්ෂයෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී තුමෙක් ප්‍රධාන ආරාදිතය හැටියට සම්බන්ධ වීම. කොහොමටත් ඒ මනුස්සයට උත්සවේ ඉවර වෙලා එලියට බහින්න හම්බුනේ නෑ. වෑන් එකකින් ආපු මැරයො ටිකක් අපේ ඉස්සරහදිම ඒ මනුස්සයට ගැහුව සතෙකුට වගේ. මට තවම හොදට මතකයි මැරයො ටික ගේම දීල ගියාට පස්සෙ ඒ මනුස්සය පිට්ටනිය මැද කවුදෝ තියපු පුටුවක වාඩි වෙලා අමාරුවෙන් හුස්ම අරගෙන මැඩම්ගෙන් අහනව අනේ මැඩම් මාව ගෙන්නුවේ මේකටද කියල. මොනව වුනත් පිකට් එක සාර්ථක වුන් නෑ. දැන් වෙන හැම පිකට් එකක්ම වගේ. අන්තිමට පේන්න හිටපු සංවිධායකයොන්ට ඒ කියන්නෙ අපේ ලොකු උන්ට තවත් සෙට් වලින් හම්බානෙක හම්බෙල තිබුන. ඒත් මම උන්ට අද ගරු කරනව. උන් කාගෙවත් බලල් අත් උනාද කාටවත් කඩේ ගියාද කියල මම දන්නෙ නෑ. මගේ දැනුමෙ හැටියට නම් එහෙම වෙන්න තිබිච්ච සම්භාවිතාව අඩුයි. කොහොම හරි උන් ටික අනිවාර්යෙන්ම ගේම හම්බෙන බව දැන දැනත් වැඩක් කරා. ඇස් පනාපිට වෙච්ච අසාධාරනේට විරුද්ධව වැඩක් කරා. ප්‍රථිපල රහිත බැව් දැන දැන හෝ දැනෙන වැඩක්. මම මේක මෙච්චර වර්ණනා කරන්නෙ අද කාලෙ තියෙන පිකට් උද්ගෝෂණ එක්ක බැලුවම ඒක කැපිල පේන නිසා. ඇත්ත අදත් අසාධරනේට විරුද්ධව කෑ ගහනව. හැබැයි එතන වෙන්නෙ සෝද සෝද මඩේ දාන වැඩක්. ආණ්ඩුවට බනිනව, පොලීසියට බනිනව. මොන ස්වාදීන නම් තිබුනත් තවත් බලයෙ ඉන්න තවත් එකෙක් ඇවිත් විනාඩි දෙකකට එතනට මූණ දාල ලකුණු දාගන්නව. තව පිකට් එකක් තියෙන්කන් බලන් ඉන්න ගොයියොත් හතර පැත්තෙන් එනව. මොකද ඒව නැත්තන් පැවැත්මකුත් නැති හින්ද. ඇත්ත අසාධාරණෙ එහෙමමයි. ඒක දැනෙන්නෙ අසාධාරණයට මූණ දුන්නු එකාට විතරයි. කෑ ගහන්න ඕන. මිනිස්සු දැනුවත් කරන්න ඕන. පාලකයොන්ට දන්වන්න ඕන තමයි. ඒත් වැඩක් වෙලා තියෙනවද.. අන්තිමට ගල්, ලී, බැටන්, කදුලු ගෑස්, වතුර හා ලේ. දැන් නම් තේරෙන විදියට උද්ගෝෂණ කියන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදෙ ඇතුලෙ මිනිස්සු ගිලපු තවත් ලනුවක්. උගුර ලේ රහ වෙනකන් කෑ ගහනව. ඕන ප්‍රතිපල නෑ. පාලකයොත් මිනිස්සුන්ව ඒ තත්වෙට ඈදල දාල බලයෙ එල්ලිල ඉන්න ප්‍රශ්න නිර්මාණය කරගන්නව. තත්වෙ ඕකයි.